අලුත් අවුරුද්දේ බිරිදගෙන් සැමියාට සුපිරි කෑමක්. අවුරුද්ද පටන් ගත්තදිම දඹුල්ල ජාත්‍යන්තරයට
මේ කතාව කියන්නේ දඹුල්ල නගරයට ආසන්නයේ ගමක පදිංචි පෞද්ගලික ආයතනයක සේවකයකු ගැනය. උදේ පාන්දරම ඔහු ගමේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට යන්නේ නළලේ ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමටය.
‘මේ විදිහට නළල තුවාල වූයේ කෙසේදැයි” වෛද්‍යවරයා ඔහුගෙන් අසා තිබිණි. එහිදී ඔහු වෛද්‍යවරයාට පවසා ඇත්තේ තමන් නව වසර සැමරීම සඳහා රාත්‍රියේ මිතුරන් පිරිසක් සමඟ සාදයක් පැවැත්වූ බවය. සාදය අතරමගදී නිවෙසේ තනිව වාසය කළ සිය ප්‍රිය බිරියට දුරකතන ඇමතුමක් ලබා දුන් අතර එහිදී ‘රෑ වෙන්නේ නැතුව ඉක්මනට එන්න යැයි’
ඇය කියූ බවත්, ‘එද්දී බල්ලට බත් ටිකක් අර¬ගෙන එන්න’ යැයිද ඇය කියූ බවත් ඔහු වෛද්‍යවරයාට පවසා ඇත. ‘බල්ලට විතරක් මොකද මං ඔයාටත් රසම රස බත් එකක් ගේන්නම්’ යැයි තමා ඇයට පවසා ඇමතුම විසන්ධි කළ බවත් පසුව, සාදය පැවැති ස්ථානයෙන් බත් පාර්සල් දෙකක් ද ඇතැතිව තමන් මධ්‍යම රාත්‍රිය වෙද්දී නිවෙසට ගිය බවත් ඔහු වෛද්‍යවරයාට විස්තර කළේය
. ඉන් එක් බත් පාර්සලයක් ඉතා සරුවට බිරිය වෙනුවෙන් ඔතාගත් බවත් අනෙක් පාර්සලය සාදයේ මිතුරන් ඉතිරි කළ මස් කටු වැඩිපුර දමා සකසා ගත් එකක් බවත් ඔහු වෛද්‍යවරයාට කීය.
පදමට වෙරිවී නිවෙසේ දොර ළඟට පැමිණි ඔහු ළඟට මුලින්ම දිවවිත් ඇත්තේ සුරතල් බලු පැටියාය. බලු සුරතලාට ඇති ආදරය කෙතරම් ද යත් වහාම තම බෑගයේ බහා තිබූ සුරතලා වෙනුවෙන් ගෙනා බත් පැකැට්ටුව එළියට ගත් ඔහු එය සුරතලාට දුන්නේ ඌගේ ඔළුවද අතගාමිනි. ඒ සමඟම දොර විවෘත කර ඉදිරියට පැමිණ තිබුණේ ඔහුගේ බිරියයි.
‘ඔන්න ඔයාටම සුපිරියට ඔතාගෙන ආවේ’ ඔහු බත් පාර්සලය ඇයට දෙන ගමන් පවසා තිබිණි. ගතවූයේ නිමේෂයකි. එකවරම තම මුහුණ හා හිස කකියවමින් කුමක්දෝ වැදුණු බවක් ඔහුට දැනුණි. ඔහු තුවාල වූ නළල පිරිමදිමින් බැලුවේ ඒ කුමක්ද යන්නය. නළල තුවාල වී ලේ ගලන්නට වූයේ බරසාර මස්කට්ටක් වැදීමෙන් බව ඔහු දුටුවේ එවිටය.
බිව් මධුවිතේ වෙරිහිදී ගිය ඔහු තමා ඉදිරියේ බිම විසිරී තිබුණු මස්කටු සහිත බත් පාර්සලය දිහා බැලුවේය. වැරදීමක් සිදුව ඇති බව ඔහුට දැනුණේ එවිටය. ඔහු නෝනාට දී ඇත්තේ බල්ලාගේ බත් පාර්සලයය. බත් පාර්සලය මාරුවී සිදුවූ මේ අකරතැබ්බය ගැන ඔහු දොස්තරට කීවේය.
එහෙමයි ඩොක්ටර් මගේ නළල තුවාල වුණේ. නළලේ වූ තුවාලයට බෙහෙත් දමා ගත් ඔහු ආරෝග්‍ය ශාලාවෙන් පිටව යද්දි මේ කතාව දැනගත් ඒ අවට සිටි පිරිසගේ මුවට නැඟී තිබුණේ සිනහවකි.
සීගිරිය – විශේෂ
දිනමිණ