ඉස්සර වගේ තෝරා බේරාගෙන දැන් රඟපාන්න බැහැ
රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින රුවක්. නමුත් ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි ඒ ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිත තුළින්. මේ කාලයේත් විසේකාරී ටෙලි නාට්‍යයේ අහිංසක “වාසු”ගේ චරිතයට පණ පොවන්නේ ඇයයි.
“වාසු” ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම හිතුවට වැඩිය ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්. ඒක මම ලොකු ජයග්‍රහණයක් විදිහට දකිනවා. කාන්තාවකට කාන්තා පාර්ශ්වයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න එක ලෙහෙසි නැහැනේ. ඒ නිසා මම ඒ ගැනත් සතුටින් ඉන්නේ.
වාසුට ආරාධනා ලැබුණාම මොකද හිතුණේ?
මුලින්ම මට කතා කළේ නිෂ්පාදක ප්‍රභාත් රෝෂන අයියා. ඊට පස්සේ ඉන්දික ධර්මතිලක අයියා කතා කරලා චරිතය ගැන පොඩි විස්තරයක් කළා. හැබැයි මම මේ වගේ චරිතයක් කරලා නැති නිසා ආස හිතුණා. මට කියපු විදිහට ඒ කතාව වාසු කියන චරිතය කරලා බලන්න හිතුණා. ඒ නිසා භාර ගත්තා.
මේ දවස්වල නිර්මාණ කටයුතු මොනවාද?
විසේකාරි නාට්‍යයට අමතරව සුපුන් රත්නායක අයියාගේ ජුරාලියා ටෙලි නාට්‍යයේ චරිතයක් කරනවා. ඒ එක්කම චිත්‍රපටයකට ඇරයුම් ලැබිලා ඒ ගැන කතා බහ වෙමින් යනවා. සුපුරුදු විදිහට වෙළෙඳ දැන්වීම්වල වැඩ කරගෙන යනවා.
මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් කීයක් කරලා තියෙනවද?
ඒක ඇත්තටම ගණන් කරලා කියන්න බැහැ. සමහර නිෂ්පාදනවල මම හය හත් වතාවක් ඉඳලා තියෙනවා. කොහොම නමුත් වැඩිපුරම කරලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම්. ආපසු හැරිලා බලද්දී හරිම සතුටුයි. වෙළඳ දැන්වීම් වලින් නම් කිසිම අඩුවක් නැහැ.
රුවි කාලයකට සැරයක් දකින්න ලැබෙන නිළියක්. ඒ ඔබ චරිත තෝරලා රඟපාන නිසාද?
නැහැ තෝරලා බේරලා රඟපාන නිසාම නෙවෙයි. මට කතා කරන්නෙම ගැළපෙනම චරිත වලට විතරයි. වාසු කියන චරිතයටත් මට කලින් කීප දෙනෙක්වම බලලා තිබුණා. මුල් කාලයේ ගත්තම නම් මම දීර්ඝ ටෙලි නාට්‍යය කළේ නැහැ. එක අපිට එතකොට නුහුරුයි. නමුත් දැන් එන නාට්‍යය ඉස්සර නාට්‍යය වගේ නෙවෙයි. දැන් ඉස්සර වගේ තෝරා බේරා ගෙන රඟපාන්න බැහැ. හොඳම දේ තමයි තමන්ට ලැබෙන චරිතය කොච්චරක් දුරට කරන්න පුළුවන් ද කියන එක හිතලා චරිතය භාර ගැනීම.
වාසුට පස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන චරිතය මොකක් ද?
මොනිකා. මොනිකා කියන්නේ නම් වාසුට වැඩිය හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන ඕනෙම දෙයක් කරනවා. ඒ මනුස්සයට ගඟේ මුහුදේ පනින්න කිවුවොත් පනින සයිස් එකට ඉන්නේ. ඒ තරම් ආදරයක් එක්ක යන්නේ. සමහර වෙලාවට මිනිස්සු ඒක දකින්නේ මෝඩකමක් විදිහට. ඒක මෝඩකම නෙවෙයි එයා එයාගේ ආදරවන්තයාට තියෙන ආදරේ සහ විශ්වාසය.
සුපුන් රත්නායක කියන්නේ ඔබව හරි හැටි චරිතවලට යොදපු අධ්යක්ෂවරයෙක් කිවුවොත්, ඔබ එකඟ ද?
ඔව්. ඒක තමයි ඇත්ත. සුපුන් කවදාවත් අපිව එක චරිතයකට කොටු කරන්නේ නැහැ. එයා රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ තියෙන රංග පරාසය හොඳින් හඳුනා ගත් අධ්යක්ෂවරයෙක්. එයා පුදුම නිදහසක් දෙනවා රංගනයේදී. හැබැයි එහෙම කියලා එයා යටතේ රඟපාන එක ලෙහෙසිත් නැහැ. එයාට ගන්න ඕනේ දේ කොහොම හරි ඒ චරිතේ තුළින් ගන්නවා.
රුවි ජනප්‍රියත්වය දකින්නේ කොහොමද?
මම කවදාවත් ජනප්‍රියත්වය කියන දේ හඹා ගිය කෙනෙක් නෙවෙයි. ජනප්‍රිය රැල්ලට නොගියත් මම කාලයක් තිස්සේ මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්නවා. එක රැයකින් ජනප්‍රිය වුණු චරිත තියෙනවා හැබැයි අද වෙද්දී හොයා ගන්නත් බැහැ. මම එහෙම නැහැ. මට ඉන්න පුළුවන් විදිහට මගේ විදිහට තමයි මම මගේ වටපිටාව හදාගෙන තියෙන්නේ.
කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?
මම හරිම ආසාවෙන් ඉන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක් කරන්න. හැබැයි මට කට්ටිය විහිළු කරනවා අහිංසක පොලිස් චරිත නැහැ කියලා. ඒ වගේම මෙහෙණි චරිතයක් කරන්නත් ආසයි. ඒ එක්කම සංකීර්ණ සහ බැරෑරුම් ගැමි චරිතයක් කරන්න. ඒ වගේ මටත් හීන තියෙනවා.
සිනමාවේ එන්න තියෙන නිර්මාණ තියෙනවද?
තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය එන්න තියෙනවා. එකේ සිස්ටර් කෙනෙක්ගේ චරිතයක් නම් කරන්න ලැබුණා. ඒකත් මම හරි ආසාවෙන් කරපු චරිතයක්.
නිළියක් විදිහට තෘප්තිමත් ද?
ඇත්තටම ඔව්. මට මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක මට ලොකු සතුටක් තියෙනවා. මොහොතකට හෝ තව කෙනෙක් වෙලා ඒ කෙනාගේ දුක සතුට බෙදා හදාගන්න පුළුවන් නිළියකට හෝ නළුවෙකුට. මට හිතෙනවා ඒ නිසා ඒ හොඳ හෝ නරක ගැන ලැබෙන ප්‍රතිචාර එක්ක අවංකවම සතුටුයි.
අනුෂා රණසිංහ
– lilumina