දරු තිදෙනා කාරයට යට කිරීම පවුල් කෝන්තරයක් – මියගිය දැරියගේ පියා ඥාතියාට පිහියෙන් ඇනලා
පසුගිය අප්‍රේල් 05 වනදා මෝටර් බයිසිකලයක් යටකරන කේන්තියකින් කාර් රථයක් පැදවූ නොපරීක්ෂාකාරී රියදුරෙකු අතින් අහිංසක දරුවන් තිදෙනෙකු අනතුරට ලක්ව එක් දැරියක මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය. එය අප වාර්තා කළේ ‘බයික් එක යටකරන කේන්තියෙන් ගිය කාර් රියදුරු අහක සිටි දරුවන්ට ගෙනා මාරකය’ ලෙසිනි. දැන් මෙම සිදුවීම ගැන වෙනස් විදිහක තොරතුරු ආරංවී තිබෙන අතර මෙය හදිසි කෝපය නිසා අත්වැරදීමක් නොව කාලාන්තරයක් තිස්සේ පවුල් අතර ආරවුලක ප්‍රතිඵලයක් බව වාර්තා වී තිබේ.
මෙහි නවතම ආරංචිය වන්නේ අනතුරින් මියගිය දැරියගේ පියා අනතුර සිදුකළ රියදුරුගේ ඥාති පුත්‍රයෙකු බව කියන අයකුට පිහියෙන් ඇණ අත්අඩංගුවට පත්වීමය. මෙම රියදුරුටද පියාගේ නෑකමක් තිබෙන බව කියැවෙයි.
මෙම පිහි ඇනුම අනතුරින් දින දෙකකට පසු 07දා සවස සිදුව තිබේ.ඉකුත් 05 වනදා මහබාගේ පොලිස් වසමේ තොටුපළ පාර ප්‍රදේශයේදී කාර් රථයකින් දරුවන් තිදෙනකු යට කර ගෙන යෑම නිසා පස් හැවිරිදි දැරියක මිය ගොස් තුන් හැවිරිදි හා හය හැවිරිදි දරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
මෙහිදී එලීෂා ජස්ටින් නැමැති පස් හැවිරිදි දැරිය මිය ගියාය. දරුවන් යට කළ රථයේ රියැදුරු එම අවස්ථාවේ පලා ගිය නමුත් පසුව පොලිසිය අල්ලා ගත්තේය.
ඇසින් දුටුවන්ගේ සාක්ෂි වලින් කියැවුනේ මෝටර් සයිකලයක් පසුපස හඹාගිය කාර් රථය අත්වැරදීමකින් දරුවන් යට කළ බවය. නමුත් සිදුව ඇත්තේ හිතාමතා කළ අනතුරක් බව මේ වනවිට කෙරෙන අලුත් පරීක්ෂණ වලින් හෙළිවෙමින් පවතී.
මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස් ඥතීන් වන අතර කලෙක පටන් මොවුන් අතර ආරවුල් තිබෙන බව පොලිසිය පවසයි. රියැදුරුගේ ඥති පුත්‍රයකුට දරුවන්ගේ පියා විසින් මෙම පිහි ඇනුම සිදු කර තිබේ. පිහි ඇනුම සිදු කළ පියාව මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිර්ම සඳහා නාවික හා පොලිස් නිලධාරීන් ද දැන් යොදවා ඇතැයි වාර්තාවේ.
අනතුර සිදු වී ඇත්තේ පෙරේදා (අප්‍රේල් 05) සවස් කාලයේ වැලිසර තොටුපොළ පාරේදී ය. පොලිස් වාර්තා අනුව, මෝටර් රථයක් පදවමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු පසුපස හඹා යාමේදී, ඔහුගේ රථය මාර්ගයෙන් ඉවතට පැන ගොස් නිවසක ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුට හැපී ඇත.
මියගිය දැරිය හඳුනාගෙන ඇත්තේ මහබාගේ තොටුපොළ පාරේ පදිංචි පස් හැවිරිදි එලිසා ජස්ටින් හේමන් නමින් බව පොලිසිය සඳහන් කරයි. එම අනතුරින් එකම පවුලේ හය හැවිරිදි හා තුන් හැවිරිදි සහෝදර සහෝදරියෝද බරපතල තුවාල ලබා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් වාර්තා අනුව, අනතුර සිදුකළ බවට සැක කරන රියදුරා සිද්ධිය වූ වහාම රථය එතැනම අතහැර දමා පලා ගොස් ඇත. සැකකරු උතුරුමැද පළාතේ සිට හරක් ගෙනැවිත් වත්තල සහ අවට ප්‍රදේශවලට මස් පිණිස විකිණීමේ ව්‍යාපාරයක නිරත වන පුද්ගලයෙකු බව පොලිස් ආරංචිමාර්ග හෙළි කර තිබුණි.
අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් සැකකරු අල්ලාගෙන ඔහුට පහර දී ඇතත්, ඔහු ඔවුන්ගෙන් මිදී පලා යාමට සමත්වූයේය. පසුව පොලිසිය ඔහුව අල්ලා ගන්නා ලදි.
අනතුරට ලක් වූ ඩිනෝන් චිත්ම හා අනුගි ඊසිත්මා නමැති අනෙක් දරුවන් දෙදෙනාගේ තත්ත්වය තවමත් අවදානම් මට්ටමේ පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම දරුවන් දෙදෙනා බේරා ගැනීම සඳහා උපරිම ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
gossip lanka news