ප්‍රසිද්ධ වෙන්න බාල නිර්මාණවල රඟපාන්නෙ නැහැ
ටී.වී දෙරණ නාළිකාවෙ විකාශය වුණ රාවණා සීසන් 02 ටෙලිනාට්‍යයේ මන්දෝදරීගේ චරිතයෙන් රංගන ක්ෂේත්රයට පිවිසුන මධුශානි පෙරේරා රාග ටෙලිනාට්‍ය හරහා නැවතත් මේ දවස්වල ප්‍රේක්ෂකයා අතරට ඇවිත් ඉන්නවා. කාලයක් නිහඬව හිටපු මධුශානි නැවතත් රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් අවධි කිරීම ගැන අපි හිතුවා මදුශානි එක්ක කතා කරන්න.
රාග ටෙලිනාට්‍යයෙන් කාලෙකට පස්සෙ මධුශානි ආපහු ප්රේක්ෂකයො අතරට ඇවිත්..
2020 වසරේ ටී.වී දෙරණ නාළිකාවෙ විකාශය වුණ රාවණා සීසන් 02 ටෙලිනාට්‍යයේ මන්දෝදරීගේ චරිතයෙන් මම රංගන ක්ෂේත්රයට ආවෙ. ඊටපස්සෙ නාඩගම්කාරයො ටෙලි නාට්‍යයේ ජානු විදිහට විශාල ප්‍රේක්ෂක ආදරයක් මම ලැබුවා. නාඩගම්කාරයො අවසන් වීමත් සමග තවත් ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වුණත් ඒවා ඒ තරම් ප්‍රේක්ෂකයා අතර ප්‍රසිද්ධ වුණේ නැහැ. නාඩගම්කාරයො නිර්මාණය කරපු ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ශ්‍රී ලාල් වික්‍රමගේ නිෂ්පාදනය කරන රාග ටෙලි නාට්‍යයට සම්බන්ධවීමත් සමග මේ දවස්වල නැවතත් මාව ප්‍රේක්ෂකයා අතර ප්‍රසිද්ධ වෙලා තියනවා.
නාඩගම්කාරයො ටෙලි නාට්‍යයෙන් ලැබුණ ප්‍රසිද්ධිය දිගටම නඩත්තු කළා නම් මීට වැඩිය රංගන ක්ෂේත්රයේ දුර යන්න තිබුණා නේද?
නාඩගම්කාරයො ටෙලි නාට්‍යයේ ජානු විදිහට තවමත් මම ප්‍රේක්ෂක ආදරය ලබනවා. නාඩගම්කාරයො අවසන් වුණාට පස්සෙ මම බලාපොරොත්තු වුණා ඒ වගේම ප්‍රමිතියෙන් හොඳ නිර්මාණවලට රංගනයෙන් සම්බන්ධ වෙන්න. ප්‍රසිද්ධ වෙන අරමුණින් බාල නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නෙ නැහැ. ඉතින් ඒ විදිහෙ ප්‍රමිතියෙන් හොඳ නිර්මාණ ලැබුණෙ නැති නිසා රංගනයෙන් ටිකක් දුරස්වෙලා හිටියා. නැවතත් රාග හරහා රංගන ක්ෂේත්රයට එන්න තීරණය කළේ පිළිගත්ත අධ්යක්ෂවරයෙක් වන ශිවගුරුනාදන් සර්ගේ නිර්මාණයක් වීමත් පිටපත, කතාව ඇතුළු සමස්ත නිර්මාණයම ප්‍රමිතියෙන් ඉහල මට්ටමේ පවතින වෙනස් විදිහෙ ටෙලි නාට්‍යයක් නිසයි.
මධුශානි පූර්ණකාලීන නිළියක්ද?
අර්ථික අතින් මුදල් සොයන්න මම ඇඳුම් ව්‍යාපාරයක් කරනවා. ඒ ඇරුණාම පූර්ණකාලීනව මගේ වෘත්තීය රංගනය. හැබැයි රංගන ක්ෂේත්රයට එනවා කියලා පුංචි කාලෙදිවත් මගේ අදහසක් තිබුණෙ නැහැ. නිළියක් වීම අහම්බෙන් වුණ දෙයක්.
මධුශානි රඟපාපු අනිත් ටෙලි නාට්‍යවලට වැඩිය රාග වෙනස් වෙන්නෙ කොහොමද?
රාග ටෙලි නාට්‍යයෙදි ප්‍රධාන වශයෙන් කියනවා මාධ්‍ය සහ දේශපාලනඥයො අතර ඇති සම්බන්ධතාවය. සමාජයේ ප්‍රබල පුද්ගලයො සුදු චරිත නඩත්තු කරගෙන හිටියත් ඔවුන් තුළ ඇති කළු චරිතය ගැන. ඒ වගේම ස්පාවල වැඩ කරන ගෑනු ළමයින්ගේ ජීවිත ගැන පැතිකඩකුත් රාග ටෙලි නාට්‍යයෙදි කියනවා.
ඔබගේ චරිතය මොන වගේද?
ප්‍රධාන කතාවට අනුබද්ධිතව හෝටලයක ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරිය විදිහට කටයුතු කරන නිරාශාගේ චරිතය තමයි මම රාග ටෙලි නාට්‍යයේ රඟපාන්නෙ. හෝටලයේ වැඩ කරන අතරතුර කෑම ඩිලිවරි කරන නිරෝද් එක්ක ආදරෙන් පැටලෙන්න උත්සාහ කිරීමත් නිරෝද් තවත් ගෑනු ළමයෙක්ට ආදරය කිරීම නිසා තුන්කොන් ආදර අරගලයට මැදිවීම නිරාශාගේ චරිතයෙදි මට අත්විඳින්න සිදුවෙනවා.
පුංචි තිරයේ විවිධ විදිහෙ චරිත රඟපෑවට සැබෑ ජීවිතයේ මොන විදිහෙ කෙනෙක්ද?
පුංචි තිරයේ දකිනවා වගේ මම කෑගහන දඟකාර කෙනෙක් නෙවෙයි. සරලව සැහැල්ලුවෙන් හැමෝම එක්ක සහයෝගයෙන් ජීවත්වෙන කෙනෙක්. ඒ විදිහෙ කළමනාකාරීත්වයක් නැත්තන් සමාජයේ ජීවත්වෙන්න අමාරුයි.
මධුශානි දැන් පෙම්වතියක් වෙන්න ඇති?
අනේ නැහැ. තාම මම තනිකඩයි. ආදරය ගැන එකපාර තීන්දු තීරණය ගන්න බැහැ. හොඳට හිතලා බලලා හරි කෙනාව තෝරගන්න ඕන. ඉතින් හරි කෙනා ලැබෙනකන් ඉවසලා තනිකඩව ඉන්නවා.
හරි කෙනාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?
සල්ලි, දේපළ, ලස්සන වගේ විශේෂ දේවල් මම පෙම්වතෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මනුස්සයෙක් විදිහට හොඳ ගතිගුණ තියන මාව තේරුම් අරන් ආදරෙන් බලාගන්න පුළුවන් කෙනෙක්වයි පෙම්වතා විදිහට මම බලාපොරොත්තු වෙන්නෙ.
පුංචි තිරයට ආපු කාලෙ වගේම තවමත් වෙනසක් නැතුව ලස්සනට ඉන්න රහස මොකක්ද?
ලස්සන වෙනුවෙන් විශේෂ දෙයක් කරන්නෙ නැහැ. පෝෂදායී විදිහට ආහාර අරගෙන ව්‍යායාම කරලා සතුටින් ඉන්නවා.
විලාසිතා කරන්න කැමති කොහොමද?
වෙනස් විදිහෙ නවීන විලාසිතා කරන්න මම ගොඩක් කැමැතියි. විලාසිතාවලට තියන කැමැත්ත නිසා මම මේ දවස්වල ඇඳුම් ව්‍යාපාරයකුත් කරගෙන යනවා.
මධුශානිව අපහසුතාවට ලක්වෙන විදිහට සමාජ මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාර ගැන අදහස මොකක්ද?
මොනවිදිහෙ දෙයක් කළත් සුබ පතලා වගේම අපහසුතාවයට පත්වෙන විදිහෙ ප්‍රතිචාර නළු නිළියන්ට ලැබීම සාමාන්‍ය දෙයක්. ඉතින් මටත් විලාසිතා සම්බන්ධයෙන් ඇඟේ හැඩය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. මම හොඳ දේවල් විතරක් බාර අරගෙන නරක දේවල් ප්‍රතික්ෂේප කරනවා.
aruna