ගැරඬිඇල්ල අනතුරේ වරද රියදුරුගේ නොව සියල්ල හෙළි වෙයි.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේ සිදුවූ දරුණු බස්රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම අනතුරට කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ද වගකිව යුතු බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් වාහන පරීක්ෂකවරුන් හය දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබූ අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව දැන් නිකුත් කර ඇත.
පසුගිය මැයි 11 වැනි දින පෙරවරුවේ සිදුවූ මෙම දරුණු අනතුරින් මගීන් 23 දෙනෙකු මරණයට පත් වූ අතර, තවත් 60 දෙනෙකු බරපතල තුවාල ලැබූහ. පරීක්ෂණ කමිටුව විසින් නිගමනය කර ඇත්තේ මෙම අනතුරට ප්රධාන හේතුව රියැදුරුගේ අවිවේකී බව සහ රියැදුරුට නිමේෂයකින් නින්ද යාම බවයි. කෙසේ වෙතත්, කමිටුව විසින් අවධාරණය කරන්නේ අනතුරේ සම්පූර්ණ වරද රියැදුරු අතෙහි පමණක් නොවන බවයි.
පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන පරිදි, අක්රමවත්ව හා ප්රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියා කිරීම අනතුරේ හානිය ඉහළ යෑමට ප්රධාන හේතුවක් වී ඇත. අනතුරට ලක්වූ බස්රථය කතරගම ඩිපෝව විසින් 2023 වසරේදී අලුත්වැඩියා කර තිබුණ ද, ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති බව කමිටුව පෙන්වා දී ඇත.
පරීක්ෂණයේදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ බසයේ බඳ කොටසේ තහඩු ගලවා අලුත්වැඩියා කිරීම සඳහා අලුතින් තහඩු භාවිතා කර නොමැති බවයි. මෙම අක්රමවත් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් බසයේ සැකිල්ලේ කණු බොහෝමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබූ බවත්, එහි ප්රතිඵලයක් ලෙස සැකිල්ලේ ශක්තිය සහ සමස්ත බසයේ ශක්තිය ද හීන වී තිබූ බවත් කමිටුව විසින් තහවුරු කර ඇත.
මෙම බස් අනතුර සිදුවූ ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්රදේශයක් බව කමිටුව පෙන්වා දී ඇත. පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව, 2022 වසරෙන් පසුව මෙම ස්ථානයේ දෙපස වෙළෙඳසල් දෙකක් සඳහා අවසර ලබා දී ඇත.
මෙම වෙළෙඳසල් හිමියන් විසින් ව්යාපාරික ස්ථානවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ ගස් හා පස් ගොඩැලි ඉවත් කර එම ප්රදේශය සමතලා කර තිබෙන බවත් කමිටු වාර්තාවේ සඳහන් වේ. කමිටුව විශ්වාස කරන්නේ මෙම තත්ත්වය බසය පෙරළී යාමට තවත් එක් හේතුවක් බවයි.
කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. මේ අනුව, මෙම දරුණු අනතුරට රියැදුරු පමණක් නොව, කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ද සෘජුවම වගකිව යුතු බව පැහැදිලි වේ.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව අනුව, කොත්මලේ ගැරඬිඇල්ල බස්රථ අනතුරට බහුවිධ හේතූන් බලපා ඇති අතර, රියැදුරුගේ අවිවේකී බව ප්රධාන හේතුවක් වුවද, බස්රථයේ අක්රමවත් අලුත්වැඩියා කටයුතු හා මාර්ග සංවර්ධන අධිකාරියේ නොසැලකිල්ල ද ප්රධාන සාධක ලෙස හඳුනාගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර ගැනීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
gossip lanka news