ප්‍රමාදය නිසා ගුවන් අනතුරින් දිවි බේරාගත් තරුණිය කතා කරයි
දෛවය ජීවිතයට ලබාදෙන ඇතැම් අවස්ථා කෙතරම් වාසනාවන්තදැයි හැඟෙන සිදුවීමක් ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වුණි.
ඒ, ගුවන්තොටුපොළට පැමිණීමට මිනිත්තු 10ක් ප්‍රමාද වී ගුවන් යානය මඟහැරුණු නිසා දිවි සුරැකුණු කාන්තාවගේ කතාවයි.
සිය සැමියා සහ දරුවා සමග එංගලන්තයේ ජීවත්වන ඇය නමින් භූමි චෞහාන්.
දෙවසරකට පසු නිවාඩුවකට ඉන්දියාවට පැමිණ මව්පියන් බැහැදුටු ඇය යළි එංගලන්තය බලා පිටත්වීමට ඊයේ (12) ගුවන්තොටුපොළට ගොස් තිබුණි.
නමුත් අහමදාබාද් හි පැවති දැඩි රථවාහන තදබදය නිසා ඇය ගුවන්තොටුපොළට පැමිණෙන්නේ විනාඩි 10ක් ප්‍රමාදවය.
ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව අහිමි වුණු ඇය යළි ගුවන් තොටුපොළෙන් පිටතට යන්නට සූදානම් වෙද්දී මෙම අනතුර ගැන අසන්නට ලැබී තිබේ.
මේ ගැන අදහස් දැක්වූ භූමි,
“මම භූමි චෞහාන්. මම ගුවන්තොටුපොළට එනකොට 1.30 විතර වෙලා…ගුවන් ගමනට එකතු වෙන්න පමා වැඩියි. අනතුර ගැන දැනගත්තහම මගේ මුළු ඇඟම හිරිවැටුණා වගේ.”
ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී සිදුවූ දරුණු ගුවන් අනතුරින් මෙතෙක් වාර්තාවූ මරණ සංඛ්‍යාව 265ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය පවසයි.
යානයේ සිටි මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 242 දෙනා අතුරින් 241 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් මගියෙකුගේ දිවි ගැලවී තිබුණේ ආශ්චර්යමත් ලෙසිනි.
මේ අතර ගුවන් යානයේ එක් කළු පෙට්ටියක් සොයාගැනීමට අද හැකිවූ බවත් ඉන්දිය මාධ්‍ය වාර්තාකර තිබුණි.
එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානය ඊයේ දහවල් සිය ගමන ආරම්භ කළේ ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපොළ දක්වාය.
ඒ මගීන් 230 දෙනෙක් සහ කාර්යමණ්ඩලයේ 12 දෙනෙකු ද ඇතුළුව 242දෙනක්ගෙන් සමගින්ය.
යානය දහවල් 1.38ට ගුවන් තොටුපොළෙන් නික්මුණ ද එහි ගමන විනාඩියකටත් අඩු කාලයක් තුළ නිමාවුණේ ලෝක ගුවන් ඉතිහාසයට තවත් ඛේදවාචකයක් එක් කරමිනි.
යානය, ගුවන් තොටුපොළ අසල පිහිටි BJ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී පිපිරීමට ලක්වුණි.
යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 ගෙන් 241 දෙනෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්වුණි.
එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයේ දිවා ආහාරය ගනිමින් සිටි සිසුන් 24 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණේ අවාසනාවන්ත ලෙසිනි.
තුවාල ලැබූ තවත් සිසුන් මේවන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.