තජූඩීන් ඝාතකයෙක් හෙලිවෙයි. ඉන්දුනීසියාවෙන් ගෙනා බැකෝ සමන් සාක්ෂි දෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කරයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වසීම් තාජුඩීන් මහතාගේ වාහනය ගමන් කළ මාර්ගයේ තිබූ සීසීටීවී දර්ශන ඉතා සූක්ෂම ලෙස පරීක්ෂා කරන ලදී. එහිදී අනාවරණය වූයේ, තාජුඩීන් මහතා හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වෙත පැමිණ, තම මෝටර් රථය නවතා වතුර බෝතලයක් මිල දී ගෙන නැවත රථයට නැගී යන අවස්ථාවේදී, ඔහුගේ කාර් රථය පසුපසින් තවත් රථයක් ගමන් කරන බවයි. එම රථය අසල තවත් පුද්ගලයෙක් සිටි බවට ද නිරීක්ෂණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවකට මෙම සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කළ නමුත්, කිසිවෙකුට එම පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකියාවක් තිබුණේ නැත.
පසුගිය කාලයේදී ඉන්දුනීසියාවේ සිට ගෙන ඒන ලද අපරාධකරුවන් කිහිප දෙනෙකු රැගෙන ඒමෙන් පසුව, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් තොරතුරු අනාවරණය විය.
‘බැකෝ සමන්’ නමැති පුද්ගලයාට අරුණ ශාන්ත නොහොත් මිද්දෙණියේ ‘කජ්ජා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඍජුම සම්බන්ධයක් ඇති බව හෙළි විය.
ඒ අනුව, මිද්දෙණියේ ‘කජ්ජා’ ගේ බිරිඳ ද ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී ප්‍රකාශයන් ලබා දී ඇත.
තවදුරටත් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර මෙම මෘත ශරීරය ගොඩගැනීමට කටයුතු කරන ලදී. එම මළ සිරුර ගොඩගනු ලැබුවේ ඒවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මගිනි.
මෙහි සිදු කරන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, මෙම සිරුරේ පපුව, උදරය සහ බෙල්ල ප්‍රදේශයේ ඇතැම් අස්ථි කොටස් අස්ථානගතවී ඇති බවයි. ඒ අනුව, මෙම මරණය මාර්ග අනතුරක් මඟින් සිදුවූ මරණයක් නොව, මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනයකට එළඹුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් සිටී
