කනන්විලදී ලොරියට බිලිවූ යුවළ
හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල ආසන්නයේදී සිදු වූ මාරක රිය අනතුරකින් විසිහතර හැවිරිදි සැමියා සහ විසිඑක් හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වැනිදා උදෑසන 11.20 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, හොරගලවත්ත, බෙරැකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ එච්. කේ. පූර්ණ දිනුෂ්ක විදුමාල් සහ එරංගි චතුරිකා පෙරේරා නමැති අඹුසැමි යුවළයි.
ඔවුන් දෙදෙනා කහතුඩුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි බව වාර්තා වේ.
මොරගහහේන දෙසින් හොරණ බලා වීදුරු කටු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදිය ගැටී ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුවට ධාවනය වී ලොරියේ ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදු වූ වහාම අවට රැස්වූ ප්‍රදේශවාසීන්, බරපතළ තුවාල ලබා සිටි යුවළ එම මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයකින් හොරණ මූලික රෝහලට රැගෙන ගොස් ඇත. එහෙත්, ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
මියගිය යුවළගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. පනාවල මහතාගේ මෙහෙයවීම යටතේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossip lanka news