පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 16ක් යළි ශ්‍රී ලංකාවට?
මේ වනවිට පාකිස්තානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අර්බුදයකට ලක් කරමින් පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඒ පාකිස්තානයේ මේ වනවිට ඇතිව තිබෙන ආරක්ෂාව පිලිබඳ ගැටලුව හේතුවෙන් බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් 20-20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානයට ලඟාවුණා.
ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය ඊයේ රාවල්පින්ඩිහි දි පැවති අතර ඊයේ දිනයේ තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.
ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ඊයේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.
එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට අකමැත්ත පලකර ඇතැයි වාර්තා වනවා.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පාකිස්තානයේ ආරක්ෂාව පිලිබඳ මේවනවිට ඇතිව තිබෙන ගැටළුවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් වූ පුහුණු සැසියටද අද දිනයේ සහභාගී වී නැහැ.
ඒ අනුව හෙට පැවැත්වෙන තරගය අත්හිටුවීමට නියමිත බවද වාර්තා වනවා.
මෙම ගැටළුකාරී වාතාවරණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16දෙනා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නිසා ඒ වෙනුවට නව කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
එලෙස නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසර 2කට වැඩි ක්‍රිකට් තහනමක් පැනවීමට අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති පසුබිමක ක්‍රීඩකයින් මෙලෙස කටයුතු කිරීම, දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන්නේ.
