ගුවන් සේවිකාවගේ බබාට නම දෙන්නැයි චාමික කරුණාරත්නට එරෙහිව නඩු දාලා
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රසිද්ධ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් විසින් පීතෘත්ව නඩුවක් ගොනු කර ඇති අතර, තම දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ඇතුළත් කිරීමට සහ දරුවාගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයකට යටත් වන ලෙස ඉල්ලා සිටිමින් කොළඹ අතිරෙක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා ඉදිරියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (21) දින කැඳවූ මෙම නඩුව දෙසැම්බර් මස 08 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර, පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී සිටියද වගඋත්තරකරු චාමික කරුණාරත්න අසනීප තත්ත්වයක පසුවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබේ.
පැමිණිලිකාර ගුවන් සේවිකාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන් චාමික කරුණාරත්න සමඟ විවාහ වීමේ බලාපොරොත්තුව ඇතිව සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දාව තමන්ට මාස දෙකක් වයසැති දරුවකු සිටින බවත්ය. කරුණාරත්න තමන් සමඟ විවාහ වන බවට පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව ඉටු නොකළ බවත්, පසුව තමාව සහ දරුවා අතහැර දමා වෙන්ව සිටින බවත් ඇය චෝදනා කර ඇත.
පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ පීතෘත්වය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා වගඋත්තරකරුට ඩීඑන්ඒ පරීක්ෂණයකට භාජනය වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. තවද, කරුණාරත්න තමන් සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, දරුවා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂයක නඩත්තු දීමනාවක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා සිටී.
මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් පැමිණිලිකාර ගුවන් සේවිකාව පැවසුවේ, “චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. එයා එයාගේ වගකීම් පැහැර හැරපු නිසයි දැන් මම උසාවියට ඇවිල්ලා පිතෘත්වය තහවුරු කරන ටෙස්ට් එකක් ඉල්ලලා නඩුවක් දලා තියෙන්නෙ. එයා අද ආවේත් නැ නඩුවට සනීප නෑ කියලා. එයා ඉදිරියටත් අධිකරණයට පෙණී සිටියි කියන එකත් මට සුවර් නැ” යනුවෙනි.
තවදුරටත් ප්‍රකාශ කරමින් ඇය සඳහන් කළේ, තමන් ගැබ්ගත් කාලයේදීත් කරුණාරත්න විසින් තමාව ළමා හා කාන්තා කාර්යාංශයේදී රස්තියාදු කළ බවයි. “දැන් බබාට මාස 2යි. මේ බබා ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. එයා තාත්තා කියන එක මම දන්න නිසයි DNA ටෙස්ට් එකකට නඩුවක් දලා තියෙන්නෙ. මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ පුරුශයෙක් වශයෙන් එයාගේ වගකීම ඉටු කරන්න කියලයි,” ඇය අවධාරණය කළාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ගුවන් සේවිකාව අධිකරණයේ පෙනී සිටි නමුත් සැකකරු චාමික කරුණාරත්න අධිකරණයට පැමිණීමට අපොහොසත් විය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කරුණාරත්න අසනීප තත්ත්වයක පසුවන බවත්, ඊළඟ නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින බවත්ය.
පැමිණිලිකාරිය හා වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු සලකා බලමින්, අතිරෙක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා මෙම නඩුව දෙසැම්බර් මස 8 වන දින නැවත කැඳවීමට දින නියම කළේය.
චාමික කරුණාරත්න යනු ක්‍රීඩා පිටියෙන් පිටත මතභේදාත්මක සිදුවීම් පිළිබඳ ඉතිහාසයක් ඇති ක්‍රීඩකයෙකි. 2022 වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය අතරතුර කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී කාන්තාවකට පහර දුන් බවට චෝදනා එල්ල වී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිදුවීම හේතුවෙන් ඔහුට LPL තරඟාවලිය තහනම් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද තාවකාලිකව ඉවත් කරනු ලැබීය.
පසුව කරුණාරත්න ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර, නැවත ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළු වීමට අවසර ලැබුණි. කෙසේ වෙතත්, මෙම සිදුවීම ඔහුගේ කීර්ති නාමයට සැලකිය යුතු හානියක් සිදු කළ අතර, ක්‍රීඩා පිටියෙන් පිටත ඔහුගේ හැසිරීම සහ වගවීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කිරීමට හේතු විය.
තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ ස්වභාවය සහ ඇතැම් විට ක්‍රිකට් බලධාරීන් සමඟ ඇති කරගත් ගැටුම් හේතුවෙන්ද කරුණාරත්න විවේචනයට ලක්ව ඇත. ඔහු සමාජ මාධ්‍ය හරහා සහ සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රබල අදහස් පළ කිරීමට ප්‍රසිද්ධියක් උසුලන අතර, ඇතැම් අවස්ථාවලදී ඒවා විනය ක්‍රියාමාර්ග හෝ මහජන විරෝධය එල්ල වීමට හේතු වී තිබේ.
2021 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් චාමික කරුණාරත්න, පන්දුවෙන් සහ පිත්තෙන් යන දෙඅංශයෙන්ම දායකත්වය ලබා දිය හැකි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉක්මනින්ම ස්ථාවර විය. විශේෂයෙන්ම T20 සහ එක්දින ක්‍රිකට් තරඟවලදී කැපී පෙනෙන දක්ෂතා ඇතුළුව, තරඟ කිහිපයකදීම ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.
මෙම නීතිමය නඩුව චාමික කරුණාරත්න මේ වන විට මුහුණ දී සිටින බරපතළ අර්බුදයක් ලෙස පෙනෙන අතර, එය ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපය සහ වෘත්තීය ක්‍රිකට් ජීවිතය යන දෙකටම බලපෑම් කළ හැකිය. පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා අධිකරණය විසින් නියෝග කළ හැකි ඩීඑන්ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය, මෙම නඩුවේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.
