පාරේ යන්න නෑ…බ ලු වැඩ කරන්න එපා මල්ලි කියනවා
පාරේ යන්න නෑ… – බලුවැඩ කරන්න එපා මල්ලි කියනවා
කිසිම වෙලාවක රඟපෑම අතහරින්න හිතුවෙ නැහැ
කොටු සමග කරළියට ආ කසුන්ගේ විස්තරේ
මේ දවස්වල කොටු පනින්නේ නම් බලාගෙනයි. ඇයිද දන්නවාද අපි එහෙම කියන්නේ. අද අපි මේ කතාබහ කරන්න හදන හාදයා කොටු පනින සෙට් එකට මොකක් හරි අංචියක් අදිනවා කියලයි කියන්නේ. මෙයාගේ වැඩ හින්දම මේ දවස්වල මේ චරිතය සෝෂල් මීඩියා ඇතුළේ හරි ජනප්‍රියයි. මෙයා පාරේ බැහැලා යනකොටත් ළඟටම ඇවිත් කියනවාලු ‘බලුවැඩ කරන්න එපා, ඇයි මේ රූම්ස්වලට යන කපල් මාට්ටු කරලා දෙන්නේ කියලා.” අපි මෙච්චර වෙලා කිව්වේ අසංක සායක්කාර අධ්‍යක්ෂණය කරන කොටු නාට්‍යයේ කසුන් ගැනයි. මෙයාගේ නම ඉසුරංග ජයකුමාර. ගොඩක් දෙනෙක් මෙයාව දන්නේ ‘ඩබියා’ කියල කිව්වහමලු. ඉතිං අද අපේ කතානායකයා ඉසුරංග ජයකුමාර.
ඉසුරංග කියමුකො බලන්න කසුන්ව හම්බවුණේ කොහොමද කියලා?
කොටු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක අසංක සායක්කාර අයියා තමයි මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ. ඇත්තටම කසුන්ව නිර්මාණය කරන්නේ අසංක සායක්කාර තමයි.
කොටු පනින චරිතවලට අංචි ඇදලා බැණුම් අහපු අවස්ථා එහෙමත් තියෙනවාද?
මම දවසක් පාරේ යනකොට අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි ළඟටම කතා කරලා කිව්වා ‘බලු වැඩ කරන්න එපා මල්ලි’ කියලා. මම ඇහැව්වා ඇයි කියලා. මොකද අර අහිංසක මිනිස්සුන්ව මාට්ටු කරලා දෙන්නේ කියලත් අන්තිමේ කිව්වා. දැන් මාව දකින දකින කට්ටිය ‘බලු වැඩ කරන්න එපා’ කියලා කියනවා.
කසුන් ගැන මොකද හිතෙන්නේ?
මට ලැබෙන ඕනෑම චරිතයකට මම උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මම චරිතයක් උපරිම අධ්‍යයනය කරනවා.
මුලින්ම පිටපත කියවන කොට කසුන්ව මේ විදිහට වෛයිරල් වෙයි කියලා හිතුවද?
නැහැ. මට කවදාවත් එහෙම හිතුනේ නැහැ. අධ්යක්ෂවරයා මට ඩිවලොප් වෙන්න ඕනෑ දේවල් තමයි හැමදාම කියන්නේ. මේ චරිතය හදාගන්න ඔහුගේ ඒ උපදෙස් මට මාර විදිහට බලපෑවා. කසුන් කියන චරිතය අද මේ තරම් ජනප්‍රිය වෙලා තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව අධ්යක්ෂතුමා සෙවනැල්ලක් වගේ ඊට පිටිපස්සෙන් සිටීමයි.
මේ ළඟකදී හරි අපූරු පෝස්ටුවක් දුටුවා. “නමක් ගමක් දන්නේ නැහැ. 2006 සම්මාන ගත්ත නළුවෙක්” කියලත්.
මොකද හිතෙන්නේ?
ඇත්තටම මිනිස්සුන්ගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නේ මට තියෙන වටිනාම සම්මානය ඒක තමයි. මනුස්සයෙක් අතර තවත් මනුස්සයෙක් ඇගැයීමට ලක් වෙනවා කියන්නේ මම දකින ලොකුම සම්මානය ඒකයි. අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. නමුත් මිනිස්සු හම්බ කරන්න බැහැනේ.
සෝෂල් මීඩියා ඇතුළේ කසුන් හරි ජනප්‍රිය චරිතයක්නේ?
කසුන් කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. මම කසුන් කවුද කියලා එක තැනකට කොටු කරන්න යන්නෙත් නැහැ. කසුන් කවුද කියලා තේරුම් ගන්න කොටු බලන්න.
මෙහෙම ගේම් දීලා අන්තිමේ කසුන්ට මොනවා වෙයිද?
කසුන් ගේම් ගහනවාද? කසුන් ඇත්තද කියන්නේ. බොරුද කියන්නේ. ඒක ප්‍රේක්ෂකයාට භාරයි. කසුන් ගැන මම නොකියන හින්දනේ එක එක්කෙනා කසුන් ගැන විවිධ මත පළ කරන්නේ. ඇත්තම කිව්වොත් කසුන්ව එක තැනකට සීමාකරන්න බැහැ. තවම මේ වැඩේ පටන් අරගෙන කෙටි කාලයයිනේ. අර කතාවටත් කියනවානේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා. ඉදිරියට යනකොට කසුන්ට මොනවා වෙයිද දන්නේ නැහැ.
ඇත්තටම කවුද මේ ඉසුරංග ජයකුමාර?
මගේ ගම බණ්ඩාරවෙලින් ගොඩාක් ඇතුළට ගිහිල්ලා තියෙන චූටි ගමක්. ගමේ නම රන්වන්ගුහාව. මම ඉස්කෝල දෙකකට ගියා. එකක් තිරවානෙගම නවෝද්‍යා පාසල. ඊට පස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කරන්න බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයට. එතැනදී තමයි මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විෂයක් තියෙනවා කියලත් දැනගත්තේ.
පවුලේ තව කවුද ඉන්නේ?
අම්මයි, තාත්තයි, නංගියි. තාත්තා ග්‍රාම නිලධාරියෙක්. අම්මා ගෘහනියක්. නංගි විවාහකයි.
පාසලේ නාට්‍යවල රඟපෑවාද?
ඔව්. ඔව්. මම පාසල් වේදිකා නාට්‍යවල රඟපාලත් තියෙනවා. වේදිකා නාට්‍ය ලියන්නත් ගන්නවා. පාසල් වේදිකාවේදී මුලින්ම රඟපෑවේ සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස නාට්‍යයේ මහ ඇමැතිගේ චරිතය. සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේදී මම හොඳම සහාය නළුවා වෙනවා. මගේ ජීවිතයේ ගොඩාක් ආශාවල් තිබුණට එතැන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ හේමා රත්නායක ගුරු මහත්මිය.
එතකොට උසස් පෙළ හැදෑරුවේ?
උසස් පෙළට හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව. එතැනින් එහාට නාට්‍ය කරන්න ඕනෑ හින්දා මම කොළඹට එනවා. ප්‍රවීණ නාට්‍යවේදියෙක් වන සම්පත් පෙරේරා හින්දයි මම කොළඹට එන්නේ. ඔහු තමයි බණ්ඩාරවෙල ඇවිත් කරපු වැඩමුළුවකදී “උඹට නාට්‍ය කරන්න ඕනෑ නම් මෙහෙම තැනක් තියෙනවා. පුළුවන් නම් කොළඹ වරෙන්” කියලා කිව්වා. අන්තිමේ මම කැම්පස් යන්නේ නැතිව කොළඹ එනවා.
කැම්පස් යන්න ඒ ලෙවල් පාස් වුණාද?
මට උසස් පෙළට බී දෙකයි සී එකයි. අපි අහුවෙන්නේ දුෂ්කර පාසල් හින්දා ඒ ප්‍රතිඵලවලට කැම්පස් යන්න පුළුවන් වෙනවා. නමුත් මම අයැදුම් කළේ නැහැ. මට අවශ්‍යතාවය තිබුණේම ටවර්හෝල් එකට එන්න. මම විශ්වවිද්‍යාලයකට තේරුණාට ඒක ඇතුළට පයගහලාවත් නැහැ. හැබැයි මම ටවර් හෝල් එකේ කරන වැඩ ටික දැක්කා. මට ඉතිං ආශාව ඇතිවෙනවා. මම කැම්පස් යන්නේ නැතිව අයැදුම් කරනවා ටවර්හෝල් එකට.
අන්තිමේ ටවර් හෝල් එකට බැඳුණාද?
ඔව්. මම මුලින්ම සම්බන්ධ වුණේ සංගීත ශිල්පියෙක්, වාදකයෙක් විදිහට.
සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්ද?
මම සංගීතය හදාරලා නැහැ. තනියම තමයි ඒ දේවල් ඉගෙන ගත්තේ. මට පුළුවන් ගිටාර් වාදනය කරන්න. ඊට පස්සේ බටනළාව වාදනය කරන්න පුළුවන්. ඔය අතරේ බෙර ගහන්නත් පුළුවන්. වේදිකා ආලෝකකරණය ගැනත් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා.
බණ්ඩාරවෙල ඉඳලා කොළඹ ඇවිත් හිටියේ කොහේද? කොළඹ ආවහම පොඩි චාටර් එකක් කන්න වෙනවා නේද?
මුලදී මම පාරවල්වල පවා නටලා තියෙනවා. ලීෆ්ලට් බෙදලා තියෙනවා. ප්රමෝෂන්වලට අනන්තවත් හෝටල්වල, පාරවල්වල ගාෆීල්ඩ් පවා නටලා තියෙනවා. කරන්න තියෙන හැම එකක්ම කළා.
කොළඹ ඇවිත් හිටියේ බෝඩිම්වල තමයි. එතකොට ජීවත් වෙන්න සල්ලි ඕනෑ හින්දා නිවේදන වැඩත් කරන්න යනවා. පාර්ට් ටයිම් මොනවා හරි කරලා දවසේ ගේම කොහොම හරි ගහගන්නවා. දැන් වගේ නෙමෙයි ඒ කාලේ රුපියල් තුන්හාර දහසකින් ජීවත් වෙන්න පුළුවන්නේ. දැන් ඉතිං තුන්හාර දහස කියන එක ගණන්වත් ගන්නේ නැහැනේ. ඇත්තටම දැන් ප්‍රමෝෂන් එකක් කළා කියලා හම්බවෙන දෙයක් නැහැ.
එතකොට වේදිකාවේ ජීවිතය මොන වගේද ගෙවුණේ?
ඒ කාලේ නොකරපු දෙයක් නැහැ. මට මේක කිසිම වේලාවක අතහරින්න හිතුණේ නැහැ. අතහරින්න හිතෙන කොට අල්ලගෙන ඉන්න හේතු දාහක් ඇවිල්ලා ඉවරයි. මගේ යාළුවෝ පවා කියලා තියෙනවා “මොනවද බං ඔය කරන වැඩේ, ජොබ් එකක් කරපන් කියලා”. මම ඒ වෙලාවට කිව්වේ “නැහැ මචං මම මේක කරනවා. කොයි වෙලේ හරි මේක හරියනවා කියලයි.” මට මනුස්සයකුට කියන්න පුළුවන් මට සල්ලි නැතිනම් සල්ලි නැහැ කියලා. දැනුත් මේවා වෛයිරල් වුණා කියලා සල්ලි ධනස්කන්ද පාත් වෙන්නේ නැහැ නේ. ජනප්‍රියත්වය කියන එක ලැබෙනවා. ඒත් එක්කම මට සල්ලි හම්බවෙලා නැහැනේ. මම මේ පොළවේ පයගහලා ඉන්න ඕනෑ. ඒ වගේම පාරේ ඇවිදින්න ඕනෑ. මට ඒක සාමාන්‍යයයි.
වේදිකා නාට්‍ය ඇතුළේ හැම වැඩක්ම කරලා තියෙනවා, එහෙමද?
රංගන ශිල්පියෙක් වගේම නළුවෙක් වෙන්න ගෙවපු කාලය ඇතුළේ මම අඬලා තියෙන වාර අනන්තයි. සමහර දවස්වලට ඉණිමග තියාගෙන එළිවෙනකම් ලයිට් හයිකරලා තියෙනවා. එළිවෙනකම් ලයිට් ගලවලා තියෙනවා. සෙට් එකේ වැඩත් අනන්තවත් කරලා තියෙනවා. හැබැයි මගේ ඔළුවේ තිබ්බේ රඟපානවා කියන එකයි. මට රඟපාන්න බැරි වුණත් මේ විෂය අත් හරින්නේ නැහැ කියන තැන හිටියා. මොන කට්ටක් කෑවත් මේක අත් හරින්නේ නැහැ කියන දරුණු විශ්වාසයේ හිටියා.
මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාපු දවස මතකද?
මම මුලින්ම රඟපෑ වේදිකා නාට්‍යයේ බෝම්බයක් ගහන අවස්ථාවක පාර මාරුවෙන රස්තියාදුකාරයකුගේ චරිතයක් තමයි රඟපාන්න තිබුණේ. එක දෙබසක්වත් තිබුණේ නැහැ. සමහර නාට්‍යවල ආවා ගියා විතරයි. හැබැයි මට දෙන්නේ තත්ත්පර පහයි නම් ඒකේ උපරිම ආතල් එක ගන්නවා. මම ආපු ගමන් ස්ටේජ් එකෙන් යන්න ආපු මනුස්සයෙක් නෙමෙයි. මම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ අපරාධකාරයා කියන කෙටි නාට්‍යයේ. නළුවෙක් විදිහට ලොකු පිරිසක් ඉදිරියේ රඟපාන්නේ ඒ නාට්‍යයේ. 2020 දී හොඳම නළුවාට නිර්දේශ වෙනවා.
සම්මාන එහෙමත් ලැබිලා තියෙනවාද?
අන්තර් විශ්වවිද්‍යාලයීය නාට්‍ය තරගාවලියේ ‘ගමනක් යං’ කියන කෙටි නාට්‍යයේ හොඳම නළුවාට සම්මාන ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙලේදී කවිකාරයා කියන නාට්‍යයේ හොඳම නළුවාට නිර්දේශ වුණා. තව සක්වල රිය කියන දිගු නාට්‍යයට රංගනය සඳහා ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි දෙවැනි ස්ථානය ලැබුණා.
නාට්‍ය කලාව හදාරන්න ගුරුවරු ළඟට ගිහින් තියෙනවාද?
මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රඟපෑම සහ නාට්‍ය ගැන හදාරලා තියෙනවා. ඔය අතරේ සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් එකේ නාට්‍ය කලාව හදාරලා තියෙනවා. ඒ තැන්වලදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ප්‍රසන්න මහගමගේ ගුරුතුමා යටතේ ගුරුහරුකම් ලැබුණා.
මොකක්ද මේ ඩබියාගේ කතාව?
ඩබියා කියලා යූ ටියුබ් චැනල් එකක් මට තියෙනවා. මම තමයි සීසර් රැප් කියන සින්දුව කළේ. සෝෂල් මීඩියා ඇතුළේ ගොඩක් දෙනෙක් මාව දන්නේ ඩබියා කියලා. තව මම හඬකැවීම් ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. කොරෝනා කාලේ තමයි ඩබියා කියන චැනල් එක පටන් ගත්තේ. කාටුන්වල චරිත අරගෙන තමයි මම ඒ දේ කළේ. ඊට පස්සේ තමයි මට ගෙඩක් තැන්වලින් ආරාධනා ලැබුණේ. නමුත් විෂය හදාරපු හින්දා මට නළුවෙක් වෙන්න තමයි වුවමනාව තිබ්බේ.
දිනේෂ් විතාන
ඡායාරූප : බුද්ධික ඩී. රණසිංහ
