තාත්තා වෙනුවෙන් පාරවල්වල බෝතල් අහුලපු පුංචි කෙල්ල
අපි ජීවිතේ පුංචි ප්රශ්නයක් ආපු ගමන් “ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ?” කියලා හඬා වැටෙනවා.
හැබැයි තායිලන්තයේ පැක් ක්රෙට් (Pak Kret) නගරයේ ජීවත් වෙන මේ 15 හැවිරිදි දියණියගේ කතාව ඇහුවොත්, ඔයාට ඔයා ගැනම ලැජ්ජාවක් හිතේවි. ඇය නමින් බෙන්යපා තණකෝන්මොන්පෝන්.
බෙන්යපා කියන්නේ පාසලේ ඉන්න දක්ෂම වගේම සුන්දරම දියණියක්. 9 වසරේ ඉගෙන ගන්න ඇයගේ GPA අගය 3.75ක්! ඒ කියන්නේ ඇය ඉගෙනීමට මොනතරම් දක්ෂ, දීප්තිමත් දරුවෙක්ද කියලා ඔබට හිතාගන්න පුළුවන්. හැබැයි පාසල් නිල ඇඳුම ගැලෙව්වාට පස්සේ ඇගේ ලෝකය අපි හිතනවාට වඩා ගොඩක් දුෂ්කරයි.
අවුරුදු 16ක් තිස්සේ අංශභාග රෝගයෙන් පීඩා විඳින ඇගේ ආදරණීය තාත්තාව බලාගන්න වගකීම තියෙන්නේ මේ පුංචි දියණියගේ කර මතයි. අම්මා පිරිසිදු කරන්නියක් විදිහට රස්සාවට ගියපුවාම, බෙන්යපා තනිවම තාත්තාගේ සියලු වැඩකටයුතු කරනවා.
ඒ විතරක් නෙමෙයි, රැය මැදියම වෙනකම් ඇය පාරවල් ගානේ ඇවිදින්නේ ප්ලාස්ටික් බෝතල් සහ විකුණන්න පුළුවන් පරණ දේවල් සොයමින්. ඇගේ වයසේ අනෙක් ළමයි ස්මාර්ට් ෆෝන් එක්ක සෙල්ලම් කරද්දී, බෙන්යපා කර තියාගෙන ඉන්නේ තමන්ගේ පවුලේ බඩගින්න නිවන බෝතල් මල්ලයි.
“මට ලැජ්ජා වෙන්න හේතුවක් නැහැ..”
“මම මේ දේ කරන්නේ ලැජ්ජාවෙන් නෙමෙයි, මගේ පවුල වෙනුවෙන් තියෙන වගකීම නිසා..” ඇය ලෝකයටම කියන්නේ අන්න එහෙමයි. සොච්චම් මුදලක් හොයාගෙන ඒකෙන් ගෙදර අඩුපාඩු පිරිමහගන්න ඇය දරන උත්සාහය සැබවින්ම පුදුම සහගතයි. ඇයට අනුව මේක කැපකිරීමක් නෙමෙයි, ඇගේ පණ වැනි තාත්තා වෙනුවෙන් කරන ආදරණීය යුතුකමක්.
වැටෙන්න හේතු දහසක් තිබුණත්, නැගිටින්න එක හේතුවක් තිබුණොත් ඇති කියලා බෙන්යපා අපිට ඔප්පු කරලා පෙන්වනවා.
Hiru Gossip
