ඉමාෂා මිය ගිහින් තියෙන්නේ අකුණෙන් නෙවෙයි
අකුණු ගර්ජනා මැද නිවසට කඩා වැදුණු මාරයා, තරුණ ජීවිතයක් උදුරා ගත්තේ සොබාදහමේ අහඹු කෝපයකට වඩා බිහිසුණු ඉරණමක් ඉතිරි කරමිනි. හබරාදුව කොක්වත්ත ප්රදේශයේ නවාතැන්පළකට එල්ල වූ ප්රබල අකුණු ප්රහාරයකින් පසු ඇඟලුම් සේවිකාවක මියයාමේ පුවත මුලින් වාර්තා වූයේ සෘජු අකුණු සැර වැදීමක් ලෙස වුවද, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ කරුණු මුළු මහත් ප්රදේශයම තිගැස්මට පත් කර තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කළ 26 හැවිරිදි ඉමාෂා මධුභාෂණී හිතවංශ නමැති තරුණියකි. අකුණු සැර වැදීමෙන් ඇය මියගිය බවට මුලින් සැක කළ ද, පරීක්ෂණ නිලධාරීන් තහවුරු කරන්නේ අකුණු පහර වැදීමත් සමඟ නවාතැන්පොළේ ගොඩනැගිල්ලට සිදු වූ හානිය හේතුවෙන් කඩා වැටුණු කොන්ක්රීට් හෝ ගඩොල් සුන්බුන් හිසෙහි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල මරණයට සෘජු හේතුව වී ඇති බවයි. අකුණු සැර ඇගේ සිරුරට සෘජුවම ස්පර්ශ වී නොමැති වීම මෙම සිදුවීමේ ඇති සුවිශේෂීත්වයයි.
පස්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි ඉමාෂා, සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දියණියයි. ඇය අනතුර සිදු වූ දිනට පෙර දින රාත්රියේ තම නිවස බලා යාමට සූදානමින් සිටියද, රාත්රී කාලය එළඹීමත් අයහපත් කාලගුණයත් හේතුවෙන් ගමන නතර කර තිබිණි. තවත් හෝරා කිහිපයකින් පියමං කිරීමට සිටි තම මහගෙදර වෙනුවට, ඇයට අවසානයේ යන්නට සිදු වූයේ මෘත ශරීරාගාරය වෙත වීම දෛවයේ අතිශය කුරිරු සරදමකි.
අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමඟ කාමරයේ රැඳී සිටි අනෙක් තරුණිය ද දැඩි කම්පනයට පත්ව සිටින අතර, ඇය මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි. නිවසේ තිබූ විදුලි උපකරණ පවා පිළිස්සී යන තරමට මෙම අකුණු පහර ප්රබල වී තිබූ බවත්, 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් රෝහලට රැගෙන එන විටත් ඉමාෂා අවසන් හුස්ම හෙළා තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
- gossip lanka news
