බදුල්ල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොතලාවල සිසුන්ගේ ජීවිත අවදානම පහව යයි
බස් රථයක් පෙරළී බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා.
ඒ අනුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එම පිරිසගෙන් කිහිප දෙනෙකු සාමාන්‍ය වාට්ටු සඳහා ද අද මාරු කිරීමට හැකි බවයි බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ.
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිස ගමන් ගත් බස් රථය අනතුරට ලක් වුණා.
එම අවස්ථාවේ බස් රථයේ සිටි පුද්ගලයින් ගණන 42 ක්. ඒ අතර සිටි සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
23 හැවිරිදි වියේ පසුවූ ඔවුන් දෙදෙනා කුරුණෑගල සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.
ඔවුන්ගේ මෘත දේහයන් ඥාතීන් වෙත භාරදී තිබෙනවා.
සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ සිසුන් ඇතුළු 40 දෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණා.
ඔවුන්ගෙන් 39 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.