මම තනියම රෙද්දක් ඇඳගෙන පාරේ යද්දී ඒ කාලේ හැමෝම බැලුවා – පබෝධා
පබෝධා… මේ දිනවල කරන නිර්මාණ මොනවද?
මේ දිනවල “සිහින ගෙනෙන කුමාරියේ” නාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම අසංක සායක්කාරගේ අලුත් නාට්‍යයක් පටන් ගත්තා. ඒකෙ නම “සින්තෝ”. ඒ නාට්‍යයෙත් රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ දවස්වල තවත් නිර්මාණ කිහිපයකටම කතා කළා. තෝරාගැනීම් නිසා ඒ මොන වැඩක්වත් තවම බාරගත්තේ නැහැ.
ඉදිරියේදී තිරගත වීමට නියමිත සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ සිනමාපටයටත් ඔබ දායක වෙනවා නේද?
ඔව්… ඒ “ශ්‍රී සිද්ධා” සිනමාපටයයි. ඒක ඇත්තටම වුණු සිදුවීමක්. අපේ ඉතිහාසයේ ඉතාම වටිනා සිදුවීමක් ගැන ඒ සිනමාපටයෙන් කතා කරනවා. ඒ චිත්‍රපටය රෑගත කිරීම් කළේ කොවිඩ් වසංගතයට පෙරයි. ඒ නිසාම කොවිඩ් සහ රටේ පැවතුණු විවිධ ගැටලු නිසා ඒක තිරගත වීමට ප්‍රමාද වුණා. ඒ සිනමාපටයේ මම “සුගුලා” කියන චරිතයයි කරන්නේ. ඒ චිත්‍රපටයේ මායි, අම්මයි (ගීතා කාන්ති ජයකොඩි) දෙන්නම රඟපානවා. මගේ අම්මා විදියට ඇය රඟපානවා. ඉතින් “සුගුලා” ගැන අපි වැඩි විස්තර නොකියා ඉමු. “ශ්‍රී සිද්ධා” නුදුරේම බලලා “සුගුලා”ව තේරුම් ගන්න අපි ඉඩ දෙමු.
පබෝධා අවුරුදු හතරේ ඉඳන් රඟපානවා. ඔබ රඟපෑ බොහෝ චරිත අදටත් මිනිසුන්ට මතකයි. ඒ නිර්මාණ ජනප්‍රිය වුණා. නමුත් තවමත් අධ්‍යක්ෂකවරුන් ඔයාගෙන් නිසි වැඩක් ගත්තේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?
සමහරු ඔය ප්රශ්නය මගෙන් අහනවා. සමහරු හිතන්නේ මම වැඩ බාරගන්නේ නැහැ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳ චරිතයක් හොඳ අවස්ථාවක් ලැබුණොත් මම ඒ චරිතය බාරගන්නවා. සමහරවිට මම ලංකාවේ නොහිටිය කාලවලදී නිර්මාණවලට අවස්ථාව ලැබුණත් මට ඒවා බාර නොගෙන ඉන්න සිදුවුණා. ඊට හැර වෙනත් ගැටලුවක් නැහැ.
ඇත්තටම කිව්වොත් මට එහෙම නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථා අඩුයි. එහෙම වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. වරක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ජීවතුන් අතර ඉඳිද්දී මම ඔහුව බලන්න ගියා. එතුමා “පබෝධා… ඔයාගෙන් තවම හරියට කවුරුත් වැඩක් ගත්තේ නැහැනේ” කියලා කිව්වා. ඉතින් ඒක මාත් පිළිගන්නවා. මට ලැබෙන චරිතවලට මම උපරිමයෙන්ම දායක වෙනවා. “ශ්‍රී සිද්ධා” චිත්‍රපටයෙත්, වයස අවුරුදු දහඅටේ ගැහැනු ළමයෙක්, මවකගේ චරිතයක් වගේම වයසක ගැහැනියකගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා.
පුතා එක්ක ගත කරන ජීවිතේ කොහොමද?
එයාට මේ මාසෙට අවුරුදු එකොළහ ලබනවා. පුතා නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරනවා. එයා හොඳට ඉගෙන ගන්නවා. ඇත්තටම එයා හොඳ පුතෙක්. මට එයාගෙන් කරදරයක් නැහැ. මගේ වැඩත් කරගෙන එයාගේ වැඩක් කරගෙන අපි ඉන්නවා.
පුතා ඔයාගේ නිර්මාණ බලනවද?
බලනවා. හැබැයි ලොකුවට තාම තේරෙන්නේ නැහැ. අපේ අම්මා එක්ක වාඩිවෙලා බලනවා. මගේ චිත්‍රපට බලන්න ආසයි. “ශ්‍රී සිද්ධා” චිත්‍රපටය ගැන එයාට කියද්දි “මට ඒක බලන්න ඕනෑ, මාව අරගෙන යන්න” කියලා පුතා කිව්වා.
අම්මා, ආච්චිඅම්මා වගේ පුතා රංගනයට එන්න කැමැත්තක් නැද්ද?
දැනට නම් එහෙම කැමැත්තක්, අකමැත්තක් පෙන්නුම් කරන්නේ නැහැ. පුතා දැනට සංගීතයට කැමතියි. කොහොමත් මමත් පුතාට කිසිම දේකට බල කරන්නේ නැහැ. එයාගේ කැමැත්තක් යම්කිසි දේකට ඇතිනෙ.. කොහොමත් අපේ අම්මත් ඒ කාලෙදි මට බල කළේ නැහැ. ඒක නිරායාසයෙන් ඇතිවුණු දෙයක්. අපේ ලොකු අයියා (බිමල්) ඒ දවස්වල රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. දැන් අපේ පරපුරෙන් බාගෙට බාගයක්ම රඟපාන්නේ හිතාගෙන හිටපු අය නෙවෙයි. ඉතින් පුතාටත් ඒ ගැන තවම බලාපොරොත්තුවක්, බල කිරීමක් නැහැ.
පබෝධා කලා පරපුරක තවත් පුරුකක්. මේ කලා පවුල එකට එකතු වුණු වෙලාවල්වලදී හරි අපූරු ඇති නේද?
අනේ ඔව්… හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ අපිට එහෙම එකට මුණගැහෙන්න තියෙන ඉඩ දැන් හරි අඩුයි. අපේ කාගේ හරි මඟුල් ගෙයකදී නම් අපිට මුණගැහෙන්න ඉඩ ලැබෙනවා. ඉස්සර නම් ආතා, ආච්චි හිටපු කාලේ සිංහල අලුත් අවුරුද්දට අපි මහ ගෙදරට එකතු වුණා. ඒත් දැන් ඒ දවස්වලටත් කවුරු හරි මඟහැරෙනවා. එක්කෝ කාට හරි වැඩක්. එහෙම නැත්නම් ඉන්නෙ විදෙස්ගත වෙලයි. ඒ නිසා හැමෝටම එකතු වෙන්න ටිකක් අමාරුයි. හැබැයි එකතු වුණාම ඒක වෙනමම ලෝකයක්. අපි සින්දු කියනවා, නටනවා.
ඔබ රඟපෑ “පබලු” ටෙලිනාට්‍ය මෑතකදි නැවතත් විකාශය වුණා. එවැනි නිර්මාණ ආයෙ ආයෙත් දකිද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම මට හිතෙන්නේ ඒවා අපිට වාසනාවට ලැබුණු චරිතයි. ඒ කාලයේදී ඒ නළු නිළියන් එක්ක, ඒ කණ්ඩායම් එක්ක ගත කරන්න ලැබීමත් වාසනාවක්. ඒක අපි හරිම එකමුතුවෙන් කරපු වැඩක්. පහුගිය කාලයේදී “පබලු” වගේම “සකර්ම”, “මීයා” ටෙලිනාට්‍යයත් නැවත විකාශය වුණා. ඉතින් ඒවා දකිද්දී හරි සතුටුයි.
රඟපාන්න ආසාවෙන් හිටපු, ලෝබකමින් බලාගෙන ඉන්න චරිතයක් තියෙනවද?
එහෙම නැහැ. ඇත්තම කිව්වොත් මම ඔය රඟපාපු චරිත එකක්වත් මම හිතාගෙන හිටපු චරිත නොවෙයි. “ගින්දරී” වුණත් යකෙක්නෙ. ඉතින් අපි කවදාවත් යකෙක්ගෙ චරිතයක් කරන්න ආසා කරන්නෙ නැහැනේ. හැබැයි ඒ චරිතය මාව වෙනස්ම කළා. මට හිතෙන විදිහට ඒවා වාසනාවට ලැබෙන චරිතයි.
ගින්දරී චිත්‍රපටයේ චරිතය ගැන කියද්දී එදා මොකද හිතුණෙ?
මම වාණිජමය චිත්‍රපටවලට ආසයි. ඒ වෙද්දි මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “වෑකන්ද වලව්ව” කරලා තිබුණා. ඒක කලාත්මක චිත්‍රපටයක්. ඒක කරද්දි මට වයස අවුරුදු දාහතයි. ඉස්සර ඉඳන් මම හින්දි චිත්‍රපටවලට ආසයි. ඉතින් “ගින්දරී” චිත්‍රපටය මට මාරම අත්දැකීමක් වුණා. අපි සෑහෙන්න මහන්සි වුණා. දැන් වගේ ඒ කාලේ පහසුකම් තිබුණේ නැහැ. වේෂ නිරෑපණයේදී ඒ කළු මේකප් එක දාලා පැය ගණන් එක දිගට හිටියා. ඒක වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. මහන්සිවෙලා කරපු නිර්මාණයක්. ඒක මුලින් කරද්දි මේ චිත්‍රපටයක් කියලා මිනිස්සු කවුරුත් දන්නේ නැහැනේ. ගැහැනු ළමයෙක් විදිහට මම තනියම රෙද්දක් ඇඳගෙන පාරේ යද්දී ඒ කාලේ හැමෝම බැලුවා. මිනිස්සු කැමරාවක් තියෙනවා කියලා දන්නෙ නැහැ. මිනිස්සු බලද්දි දැනෙන අපහසුතාවයයි අර හිනාවයි එක්ක තමයි මට එදා රඟපාන්න වුණේ.
• දිශානි ජයමාලි
උපුටාගැනීම: සාරවිට