රළ පහරට හසු වූ සිසුවිය බේරා ගැනීමට ගිය ගුරුවරයා ගිලී ම රුට
අධ්‍යාපන චාරිකාවක නිරත වෙමින් සිටියදී කිරින්ද මුහුදේ රළ පහරකට හසුව ගසාගෙන ගිය සිසුවියක බේරාගැනීමට තැත් කළ විදුහල් ගුරුවරයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් දිවි බේරුණු සිසුවිය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර, අළුපොත, පිළිමල ප්‍රදේශයේ පදිංචිව සිටි, බඩල්කුඹුර වයිකුඹුර දෙමළ විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කළ එන්. එම්. එම්. නුජූම් නැමැති 56 හැවිරිදි තිදරු පියෙකි. අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙකු සිසු දැරියන් පිරිසක් ද සමඟ මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කර තිබුණි.
චාරිකා කණ්ඩායම සවස් කාලයේ කිරින්ද මුහුදු තීරය වෙත පැමිණ ඇත්තේ පස්වරු 4.30 ට පමණය. එහිදී සිසුන් පිරිසක් මුහුදේ දිය නාමින් සිටියදී එක් ශිෂ්‍යාවක හදිසියේම දියවැළකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර, එය දුටු මෙම ගුරුවරයා වහාම ක්‍රියාත්මක වී ඇය බේරාගැනීම සඳහා මුහුදට පැන ඇත. කෙසේ වෙතත්, රළු රළ පහර හමුවේ ගුරුවරයා සහ සිසුවිය යන දෙදෙනාම මුහුදු දියේ ගිලී තිබේ.
එහි සිටි ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් වහා මැදිහත් වී දැඩි පරිශ්‍රමයකින් පසුව දෙදෙනාම බේරාගෙන ගොඩට ගැනීමට සමත්ව ඇත. පසුව ඔවුන් කඩිනමින් දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු විය. අනතුරට පත් ශිෂ්‍යාව මේ වන විටත් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මියගිය ගුරුවරයාගේ දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි
gossip lanka news
