ජීවිතයම වැරැද්දුවාට පෙම්වතිය පෙම්වතාට ඉගැන්වූ අවසන් පාඩම
“අම්මාගෙ මුහුණ මට මතක නෑ… පුංචිම කාලේ අම්මා ගැන කිව්වහම මම උඩ-බිම බලනවා. ඒ තරමට අම්මා කියන වචනයත් මට ආධුනිකයි. දන්න දා ඉඳලා මම හැදුණේ ළමා නිවාසයක. ළමා නිවාසයේ පාලිකාව තමයි මට අම්මා තාත්තා වුණේ. අපේ නිවාසේ ළමයි ගොඩක් හිටියා. ඒ කාටවත් අම්මෙක් හිටියේ නෑ. අපි කවදාවත් අම්මා කෙනෙක් ගැන හෙව්වෙත් නැහැ.
මට අවුරුදු විස්ස සම්පූර්ණ වුණාම මම එතැනින් අයින් වුණා. ඒ වෙනකොට මම දොස්තර මහත්තයෙක් ළඟ වැඩ කළා. ඒත් ඒ පුහුණු හෙදියක් විදිහටනම් නෙමෙයි. පුහුණු වන හෙදියක් විදිහට. යාළුවෙකුයි මම එක ගෙදරක නැවතිලා හිටියේ. අපි දෙන්නම ළමා නිවාසේ එකට හිටියේ.
අපි දෙන්නා කවදාවත් කාටවත් අපේ විස්තර කියන්න ගියේ නෑ. ඒ නිසාම කවුරුවත් අපි ගැන හොයන්න ගත්තෙත් නැ. අවුරුදු දෙකක් විතර රස්සාව කරගෙන ඉන්නකොට දොස්තර මහත්තයා දවසක් කිව්වා ඔය දෙන්නා රට යන්න කැමැතිනම් යවන්නම් කියලා. මමයි ශ්යාමයි ඒකට කැමැති වුණා. අපිටත් ඕන වෙලා තිබුණේ හරි ලස්සනට ජීවත් වෙන්න.
මුලින්ම දොස්තර මහත්තයා අපිව යැව්වේ සිංගප්පූරුවට. අපි දෙන්නම එකට හිටිය නිසා අපිට මහා ලොකු පාළුවක් තනිකමක් දැනුණේ නැහැ.
රැකියාව කරගෙන යන අතරතුර ශ්‍යාමා කොල්ලෙක් එක්ක යාළු වුණා. ශ්‍යාමා මට වඩා ලස්සනයි. ඒ පිරිමි ළමයයි ශ්යාමයි සිංගප්පූරුවේ ඉන්න ගමන් ජපන් යන්න ට්‍රයි කළා. අවුරුද්දකට විතර පස්සේ ඒ දෙන්නා ජපානයට ගියා.
ශ්යාමයි මමයි වෙන් වුණේ පුදුමාකාර හිතේ අමාරුවකින්. අපි දෙන්නා එකම පවුලේ අය වගේ හිටියේ. ශ්‍යාමා ගියාට පස්සේ මට පුදුමාකාර විදිහේ තනිකමක් දැනෙන්න ගත්තා. සිංගප්පූරුවේ අවුරුදු තුනක් විතර ඉන්නකොට තමයි මට ලසන්ත හමු වුණේ. මම ලසන්ත කියපු හැමදේම විශ්වාස කළා. එයා හරි හොද කෙනෙක් කියලා තමයි මම හිතුවේ. අවුරුද්දකට විතර පස්සේ එයා ලංකාවට යන්න තීරණය කළා. මම කිව්වා මමත් එයත් එක්ක එනවා කියලා. ඒත් එයා මට කිව්වා එහෙම එන්න එපා. ඔයා රස්සාව කරන්න. ඊළඟ නිවාඩුවට එයත් එක්කම ලංකාවට යමු කිව්වා. ඒ ගිහිල්ලා විවාහ වෙමු කියලත් කිව්වා. එයා මේ වතාවේ ගෙදර ගියාම අම්මලා එක්ක මා ගැන කතා කරනව කියලත් මට පොරොන්දු වුණා.
ලසන්ත ලංකාවට ගිහිල්ලා මාසයකට විතර පස්සේ මට කතා කළා. එදා එයා කිව්වා එයා ගත්ත ඉඩමේ ගෙයක් හදන්නයි සූදානම් වෙන්නේ කියලා.
මට එදා පුදුම සතුටක් දැනුණා.
මම ඇහුවා මගෙන් මොනවද කෙරෙන්න ඕන කියලා. අපි දෙන්නා හැමදාම රෑට කතා කළා. එයා මට හදන ගෙයි පින්තූර එව්වා. මම එයාට මාස කිහිපයක්ම සල්ලි යැව්වා. මම ඉතුරු කරගෙන හිටිය සල්ලි ටික එයාට දුන්නා ගේ හදන්න. මාස හයක් විතර යනකොට ලසන්ත ගැන කිසිම තොරතුරක් නැතිව ගියා. මම එයා ගැන හොයන්න පුදුම වෙහෙසක් ගත්තා. කරන්නම දෙයක් නැති තැන මම ලංකාවට ආවා. එයා මට දීලා තියෙන විස්තර අනුව මම එයාගේ ගේ හොයාගෙන ගියා. මම ගිහින් තිබුණේ එයාගේ මහ ගෙදරට. ඒ ගෙදර හිටියේ එයාගේ අම්මයි නංගියි තාත්තයි විතරයි. ඒ මිනිස්සු මාව දැකලා පුදුම වුණා. මම මං ගැන හැම දෙයක්ම එයාලට කිව්වා. ඒ අම්මා මා දිහා බලාගෙන හිටියේ ඇස් දෙක ලොකු කරගෙන.
මමත් ලසන්තත් අතර තියෙන සම්බන්ධය කිව්වාම ඒ අම්මා කලන්තෙ දැම්මා. ඒ තාත්තා පුදුමයෙන් බලාගෙන හිටියේ.
ඒත් ඒ මිනිස්සු හරි හරිම හොඳයි.
“පුතේ මං කවදාවත් හිතුවේ නැහැ මගෙ කොල්ලා මෙහෙම දෙයක් කරයි කියලා. අර උඩින් හදලා තියෙන අලුත් ගෙදර තමයි මගෙ කොල්ලා ඉන්නේ. ධම්මිකා දුවයි පුතයි ඒ ගෙදර ඉන්නේ. අනේ අපට සමාවෙන්න දූවේ“ කියලා ඒ අම්මා අඬන්න ගත්තා.
දැන් ඉතිං මොනවා කරන්නද? මම හම්බ කරපු හැම සතයක්ම දුන්නේ ලසන්තට. මම නිකන්ම අතපිහිදගෙන පැත්තකට වෙන්න ද… මට ඒ කිසිම දෙයක් හිතාගන්න බැරිව ගියා. කාගෙන් කියලා මම උදවු ඉල්ලන්නද…
අන්තිමට මම ඒ ගෙදර අයට කිව්වා මට ලසන්තව හමුවෙන්න ඕන කියලා.
ඒ වෙනකොට නම් මගෙ හිතේ තිබුණේ දුකක් නෙමෙයි ලසන්ත ගැන වෛරයක්. ඇයි එයා මට මේ වගේ බොරුවක් කළේ කියන එකයි මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ. මම මගේ හැම දෙයක්ම එයා වෙනුවෙන් දීලා තිබුණේ ඒ වෙනකොට. ලසන්ත අම්මලාගේ ගෙදරට ආවා. එයා මාව දැකලා පුදුම වුණා. ඒත් මට එයාව දැක්කාම මගෙ තරහා ඉහවහ ගියා. ලසන්තගෙ අම්මගෙ ගෙයි තියලා තිබුණ පිත්තල මල් පෝච්චිය මගෙ අතට අහුවුණේ ඉබේටමයි. මං දන්නේ නෑ මට ඒ වෙලාවේ මොනවා වුණා ද කියලා. මම ඒ පෝච්චියෙන් ලසන්තට කිහිප වතාවක් ගැහුවා.
අන්තිමට වුණේ මට හිරේ එන්න. ලසන්ත දවස් ගාණක් ඉස්පිරිතාලේ ඉඳලා ජීවිතෙන් සමුගත්තා… ඇත්තම කිව්වොත් අදටත් මට දුකක් දැනෙන්නේ නෑ මම ඒ කරපු දේ ගැන. ඇයි එයා මාව ඒ විදිහට රැවැට්ටුවේ. මගෙ ජීවිතය… මම අවුරුදු ගාණක් දුක් මහන්සි වෙලා හම්බ කරපු හැම දෙයක්ම ඒ මිනිහා මගෙන් ගත්තා. ඉතිං… මොකටද මම ඒ වගේ මිනිහෙක්ට අනුකම්පා කරන්නේ.
කවදාවත් නිදහසක් නැති බව මම දන්නවා. ජීවිතාන්තය දක්වාම හිරගෙදර ඉන්න දැන් මම පුරුදු වෙලා.
ඉනෝකා සමරවික්‍රම