මෝටර් බයිසිකල් සො රකම්කර අඩුවට විකුණන ජා වාරමක්
ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් මේ වන විට බහුල වී ඇත්තේ ඒවා සොරකම් කරන සංවිධානාත්මක පුද්ගලයන්ගේ අතමිට එම ජාවාරම්වලින් ද සරු කරන නිසාය. මේ වාහන දෙක සොරකම් කිරීම බහුලව සිදුවන්නේ එම වාහන වර්ග දෙකද බහුලව භාවිතාව සහ බොහෝ අවස්ථාවලදී කිසිම ආරක්ෂාවක් නොමැතිව අතරමඟ නවතා යෑම නිසාය.
සොරකම් කරගෙන ගෙන එන මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ ඉතා අඩු කාලයක් ඇතුළතදී කැබලිවලට ගැලවීම හෙවත් ‘මස් කිරීමට’ හොඳ හැකියාවක් ඇති පුද්ගලයෝද සිටිති. ඔවුන්ද මේ වාහන සොරකම් කරන සොර දෙටුවන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යති.
මෙලෙස සොරකම් කරන ලද මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථවල ලියාපදිංචි අංක වෙනස් කර හෝ නොකර ඒවායින් ගමන් කරමින් මහමඟ ගමන් කරන පුද්ගලයන් පැලඳ සිටින රන් මාල කොල්ලකෑම් හෝ වෙනත් අපරාධ සිදු කරන කල්ලි කණ්ඩායම්ද බහුලය. මෙලෙස සිදු කරන අපරාධවල සුවිශේෂත්වය වන්නේ එම අපරාධකරුවන් එලෙස අපරාධ සිදු කිරීම සඳහා උපයෝගී කරගන්නා ත්‍රිරෝද රථය හෝ මෝටර් බයිසිකලය තම කාර්ය නිම කරගත් සැණින් කොහේ හෝ දමා යෑමයි.
මේ ආකාරයට මෝටර් බයිසිකල් සොරකම් කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය. මෙහි සුවිශේෂත්වය වූයේ අදාළ සැකකරු සොරකම් කරන ලද රුපියල් දසලක්ෂයක් පමණ වටිනා මෝටර් බයිසිකල් තුනක් පමණ අලෙවි කර තිබුණේ රුපියල් එක්ලක්ෂ හතළිස් දහසකට වීමයි.
කහතුඩුව පොලිස් වසමට අයත් කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සේවිකාවකට අයත් ස්කූටියක් මීට මාස 11කට පමණ පෙර කිසිවකු විසින් සොරකම් කර තිබුණ අතර ඒ පිළිබඳව ඇය කහතුඩුව පොලිසියට ද පැමිණිලි කර තිබුණි.
සේවිකාව කළ පැමිණිල්ලට අනුව කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබුණ අතර සී.සී.ටී.වී. දර්ශන ද පරීක්ෂා කරමින් අදාළ ස්කූටිය සොරකම් කළ පුද්ගලයා අල්ලා ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වන්නේ එම ස්කූටිය ලියාපදිංචි අංකය සහ එහි ඡායාරූපද රටේ සියලු පොලිස් ස්ථානවලටද ලබාදෙමිනි.
මේ අතර කලක් මෝටර් බයිසිකල් හොරුන් කීප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඔවුන් සොරකම් කරන ලද මෝටර් බයිසිකල් සොයා ගැනීමට පොලිසියට හැකි වුවත් වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවිකාවගෙන් සොරකම් කළ ස්කූටිය සොයා ගැනීමට හැකි වූයේ නැත.
ඒ අතර පසුගිය දිනෙක එම ස්කූටියේ හිමිකරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබිණි. ඉන් කියැවුණේ අදාළ ස්කූටිය ගම්පහ ප්‍රදේශයේදී ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඒ පිළිබඳව කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් දැනුම්වත් වීමත් සමඟ අදාළ ස්කූටිය ලියාපදිංචි කළ පුද්ගලයා ගැන තොරතුරු හෙළි විය.
මේ තැනැත්තා මිනුවන්ගොඩ ආඬිඅම්බලම ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටින බවට තොරතුරු සොයාගත් කහතුඩුව අපරාධ විමර්ශන අංශයේ නිලධරයින් සැකකරු ඔහුගේ අනියම් බිරිය සමඟ අත්අඩංගුවට ගන්නේ අදාළ නිවෙසේ සිටියදීය. වෛද්‍ය ආයතනයේ සේවිකාවගෙන් සොරකම් කළ බව කියන ස්කූටිය ද සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට අනතුරුව හැකි විය. සැකකරු සන්තකයේ තිබුණ ජංගම දුරකතන දෙකක් ද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගැනිණි.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය. ඔහු මෝටර් බයිසිකල් සොරකම්වල නිරත වන පුද්ගලයකු බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සොයා ගන්නේ ඔහුගෙන් එලෙස සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදීය.
මේ පුද්ගලයා මීට පෙර මීරිගම, කටුනායක ප්‍රදේශවලින් මෝටර් බයිසිකල් සොරකම් කරන ලදි. තවත් මෝටර් බයිසිකල් දෙකක් පොලිසිය විසින් සොයා ගන්නේ අනතුරුවය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සංචාරකයන් ප්‍රවාහනය කරන සුප්‍රසිද්ධ සමාගමක රියැදුරෙකු ලෙස සේවය කරන අයකු බවද හෙළි විය.
කිරිවත්තුඩුව වෛද්‍ය ආයතනයක සේවිකාවකට අයත් ස්කූටිය සොරකම් කරගෙන ගිය සැකකරු එය කිසියම් අයකුට රුපියල් හතළිස් දහසකට උගස්කර තිබුණු අතර පසුව එය තවත් පුද්ගලයන් දෙදෙනෙකුට උකස්කර තිබුණේ විවිධ මිල ගණන්වලටය. පොලීසියේ සක්‍රිය සේවයේ නිරත සැරයන්වරයෙක් ද මේ පුද්ගලයාට රැවටී මේ ස්කූටිය ඔහුගෙන් රුපියල් එක්ලක්ෂ අසූදහසකට මිලදී ගෙන තිබුණි. සැරයන්වරයා එම මුදල සොයාගෙන ඇත්තේ බිරියට අයත් රන් මාලයක් උකස් කිරීමෙනි.
පොලිස් සැරයන් එම මෝටර් බයිසිකලය පාවිච්චි කරන අතරතුරදී එය අනතුරකට ලක්වී ඇති අතර ඔහු එහි නියම හිමිකරු සොයා පැමිණ ඇත්තේ එහි ලියාපදිංචි සහතිකය ලබා ගැනීම සඳහාය. එම මෝටර් බයිසිකලය සොරකම් කර තිබූ නිසා අයිතිකරු පොලිස් සැරයන්ට ලියාපදිංචි සහතිකය දී නැත. පසුව ඔහු ඒ ගැන පොලීසිය දැනුම්වත් කර තිබුණි. මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී අදාළ සැරයන්වරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 53 හැවිරිදිය. ඔහු රුවන්වැල්ල බටුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ පුද්ගලයා වෙනත් අපරාධවලට ද සම්බන්ධ වී ඇත්දැයි සොයා ගැනීම සහ සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගොස් අපරාධ සිදුකර ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වෙයි.
ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එම්.ඩී. නිලංගගේ අධීක්ෂණයෙන් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.කේ. ප්‍රියංකරගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අයි.ඩී. අරුණනාග, සැරයන් (5205) අසංග, කොස්තාපල්වරුන් වන (8436) ප්‍රියංකර, (32785) සම්පත්, (45042) සුමති, (3585) දිල්ෂාන්, (104068) වරුණ කුමාර යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
- Silumina