නොසිතූ අවස්තාවක ජීවිතයෙන් සමු ගත් සුරූපි තරුණයා
කළුතර, දුව පන්සල පාර ප්‍රදේශයේ ඉදිවෙමින් පැවති දෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් විසිතුන් හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 6 වැනිදා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, යොවුන්ගම, ගල්ගොඩවත්ත, හල්කදවිල ලිපිනයේ පදිංචිව සිටි වැලිවිට මුදලිගේ විශ්ව ප්රබුද්ධ නමැති විවාහක තරුණයා බව පොලිසිය සඳහන් කරයි.
කළුතර දකුණ පොලිස් වසමට අයත් දුව පන්සල පාරේ, සුවසේවා මාවතේ අංක 88 දරන ලිපිනයේ ඉදිවෙමින් පැවති දෙමහල් නිවසක මේසන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි මොහුට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුව තිබේ. පොලිස් වාර්තා අනුව, මියගිය තරුණයා අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට පහළ මාලයේ සිට ඉහළට ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන එන විදුලි යන්ත්‍රයක් භාවිතා කරමින් සිමෙන්ති බදාම ඉහළට ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ විදුලි යන්ත්‍රය එකවරම ගැලවී යාමත් සමඟ තරුණයාද එය සමඟම පහළ මාලයට ඇද වැටී ඇති බවයි. බිමට පතිත වූ මොහු මතට කොන්ක්‍රීට් බදාම මිශ්‍රණයද පතිත වී ඔහු එයට යටවීමෙන් බරපතළ තුවාල ලබා ඇත.
අනතුර සිදුවූ වහාම එම ස්ථානයේ සිටි සෙසු සේවකයන් විසින් තුවාල ලැබූ තරුණයා කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මෙම මරණය සම්බන්ධයෙන්, සහකාර පොලිස් අධිකාරි සුනෙක්ශාන්ත මහතා සහ දකුණු කළුතර පොලිස් ස්ථානාධිපති නාලක ගුණසේකර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ කළුතර දකුණ පොලිසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
