පුතා එක පාරටම කට ඇරලා හුස්මක් පිට කළා මිස වචනයක්වත් කතා කළේ නෑ
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේදී පසුගිය 27දා කළුතර දෙස සිට පාණදුර දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදි දෙකක හැඬල පැටලී මාර්ගයට ඇදවැටී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකට යටවීමෙන් තරුණයකුට දිවි අහිමි වීමේ සිද්ධියෙන් වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ 21හැවිරිදි කවිදු චාමර කුමාර නමැති පොතුපිටිය, ගොරකගහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වාද්දුව, පොතුපිටිය විහාරස්ථානය ආසන්නයේදී මේ අනතුර සිදු වී තිබුණේ පසුගිය 27දා සවස් කාලයේදීය.
පොතුපිටිය මහා විද්‍යාලය අසල අමතර පන්තියකට සහභාගි වීමට තම ඥාති සහෝදරිය සමඟ චාමර යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සිදු වූ මේ අවාසනාවන්ත සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ චාමර සහ ඥාති නැඟණිය පාණදුර රෝහලට රැගෙන ගියත් චාමර ඒ වනවිටත් අවසන් සුසුම් හෙළා තිබිණි.
පියා නොමැති පවුලේ වැඩිමහල් දරුවා වන චාමර පොතුපිටිය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා පාණදුර කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් තෝරා ගැනීමට කටයුතු කර ඇත්තේ පවුලේ පැවති අගහිඟකම්වලට විසඳුමක් ලෙසය.
සුජිත් චමිල කුමාර (40) හා ඉඳුනිකා ධම්මින (40) චාමරගේ මවුපියන් වන අතර පොතුපිටිය මහා විද්‍යාලයේ 03 වසර පන්තියේ ඉගෙනුම ලබන කවිශ් සස්මිත කුමාර (08) ඔහුගේ එකම සහෝදරයායි.
වෙල්ඩින් රැකියාවේ නියැළෙමින් දරුවන් පෝෂණය කළ පියා මීට වසර දෙකකට පමණ පෙර මියයෑම නිසා ඔවුන්ගේ ජීවිත අඳුරට වැටී ඇති අතර කොරියන් භාෂා පාඨමාලාවක් හදාරමින් සිටි චාමරට එම අධ්‍යාපන කටයුතුද අතරමඟ නතර කර රැකියාවකට යොමුවීමට සිදුවිය.
පොතුපිටිය මහා විද්‍යාලයේ 10 වසර පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි චාමරගේ පුංචි අම්මාගේ දියණිය සිටින්නේද එම නිවෙසේ බැවින් ඇගේ සහ තම සහෝදරයාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලුවේද චාමරය.
එදින සවස ඔහු නිවෙසේ සිට යතුරුපැදියෙන් ඥාති නැඟණිය සමඟ පිටත් වූයේද පොතුපිටිය මහා විද්‍යාලය අසල ඇති ඇගේ පන්තියට ඇය රැගෙන යෑමටය. එහෙත් නිවෙසේ සිට අතුරු මාර්ගයේ පැමිණ ප්‍රධාන මාර්ගයට පිවිස පාණදුර දෙසට ඔවුන්ට ගමන් කළ හැකි වූයේ සුළු දුරකි.
චාමරගේ යතුරුපැදියේ තවත් යතුරුපැදියක හැඬලය පැටලී සිදුවූයේ කිසිවකුටත් සිතාගත නොහැකි විනාශයකි. යතුරුපැදිය පෙරළී නැඟණිය සමඟ බිම වැටුණු චාමරගේ ශරීරය මතින් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් ගමන් කළේ කිසිවකුටත් ඔහු නැඟිටුවා මාර්ගයෙන් ඉවත් කිරීමට ඉඩක් නොතබමිණි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රෝහල් ගත කළත් චාමරට සිදුවූයේ අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමටය. පුතුගේ වියෝවෙන් කම්පිතව සිටි ඉඳුනිකා මහත්මිය මෙසේ පැවසුවාය.
Òමගේ පුතා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. එයා වැඩිය හයියෙන් බයිසිකල් පදින්නෙත් නැහැ. හැමෝම ඒක දන්නවා. පුතා ඉගෙන ගත්තෙ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. ඊට පස්සේ කොරියන් භාෂා පන්තියකට ගියා. අවුරුදු දෙකකට කලින් එයාගේ තාත්තා නැති වුණා. ඊට පස්සේ සේරම අපට නැති වුණා. පුතා ඉගෙනීම පැත්තක තියලා පාණදුරේ කර්මාන්තපුරයේ රස්සාවක් හොයා ගත්තා. එදා 27වැනිදා හවස 6.45ට විතර පුතා ගෙදරින් පිටත් වුණා මගේ නංගිගෙ දුවත් එක්ක. එයාට අවුරුදු 15යි. පොතුපිටිය ඉස්කෝලෙ ළඟ පන්තියකට දුව ඇරලවන්න තමයි පුතා ගියේ. පුතා ගිහින් විනාඩි 8ක් 10ක් විතර ඇති. මස්සිනා දුවගෙන ඇවිත් මට කිව්වා ගාලු පාරේදී පුතා ඇක්සිඩන්ට් වෙලා කියලා. ඒක කියපු ගමන් මං දුවලා එතැනට යනකොටත් සෙනඟ පිරිලා බලාගෙන හිටියා මිසක කිසි දෙයක් කවුරුවත් කළේ නෑ. පුතා වැටිලා හිටියා. දුව වැටුණු තැන ඉඳගෙන ඉන්නවා දැක්කා. බයිසිකලෙයි හෙල්මට් එකයි පාර මැද්දෙ තිබුණා. මං ළඟට ගිහින් පුතේ පුතේ කියලා කතා කළාම ළමයා එක පාරටම කට ඇරලා Òහාග්Ó ගාල හුස්මක් පිට කළා මිසක් වචනයක්වත් කතා කළේ නෑ. මං හයියෙන් කෑගැහුවා. ළමයි දෙන්නා ඉස්පිරිතාලෙට ගෙනියන්න උදවු කරන්න කියලා. කවුරුවත් වාහන නතර කළේ නෑ. ටිකක් වෙලා ගිහින් පාණදුරේ පැත්තට යන්න ගිය මල්ලි කෙනෙක් ත්‍රීවීල් එක ආපහු හරවාගෙන ඇවිත් නැවැත්තුවා. කෙල්ලගේ අත් දෙකම තුවාල වෙලා තිබුණා. මෙයාටත් සිහිය තිබුණා. මස්සිනයි මායි තමයි ත්‍රීවීල් එකේ දාගෙන දෙන්නවම පාණදුරේ ඉස්පිරිතාලට ගෙනගියේ. ඒත් වැඩක් වුණේ නෑ. දරුවා අපිව දාල ගියා. කවුරු හරි වේලාසනින් ඉස්පිරිතාලෙට ගෙනාව නම් බේරගන්න තිබුණා කියලා හිතනවා. දුව දැන් ඉන්නේ කළුබෝවිල ඉස්පිරිතාලෙ. දුවගේ එක අතක් තුනට කැඩිලා අනික් අත දෙකට කැඩිලා. අයියා නැති වුණු බව තවම එයා දන්නෙ නෑ. අපිට තිබුණු එකම හයිය තමයි මේ දරුවා. නොහිතපු විදියට ඒකත් අද අපිට නැති වෙලා ගියා.
නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත සිද්ධියෙන් අනාගතය ගැන සිහින මවමින් සිටි කවිඳු චාමරට සිදුවූයේ මවගේ මෙන්ම නෑදෑ හිතමිතුරන්ගේද සෝ සුසුම් මැද වැල්ලබඩ පොදු සුසාන භූමියේ මළහිරු බැස යන හැන්දෑවේ මිහිදන් වන්නටය.
