පුතා නීතිඥ වුණ දවසේ ආයේ අම්මලට දුක් විඳින්න ඕනෑ නෑ කියලා වැඳලා කිව්වා
මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. වෙඩි කාලා මියගියේ මගේ ලොකු පුතා.මමයි සැමියයි කුලී වැඩ කරලා තමයි පොඩි පුතාට හොදට ඉගැන්නුවේ. කුලී වැඩ කිරිමට අමතරව මගේ සැමියා කුලියට කිතුල් රා මැද්දා. 2003 වසරේ කිතුල්ගහකින් ඇද වැටිලා සැමියා ඔත්පල වුණා. එයාට වැඩක් පලක් කර ගන්න බැරිව ගියා. ඊට පස්සේ මම තමයි. පවුලේ බර කරට ගත්තේ.
රබර් කිරි කපන්න ගියා. කුලී වැඩත් කළා. බඩට හරිහමන් කෑමක් නැතුව බොහොම දුක් විදලා තමයි පුතා විශ්ව විද්‍යාලයට යැව්වේ. නොවිඳිනා දුක්ගැහැට විදලා උගන්නලා පෙරකදෝරුවෙක් කළ අහිංසක රත්තරන් කොලු පැටියායි එයාගේ නෝනයි තමයි මේ වෙඩි තියලා මරලා දැම්මේ.
ලේලි මගේම දුවෙක් වගේ. පුදුම යහපත් ගති ගුණ තිබුණු කෙනකු යැයි පාතාල වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අතුරුගිරිය, අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක රථ ගාලේ මෝටර් රථය තුළ සිටියදී මැරුම් කෑ නීතීඥ, බුද්ධික ගයාන් මල්ලවආරච්චි මහතාගේ මැණියන් වන ජී.පී. දීපානි (63) මහත්මිය ඇඬු කඳුළින් යුතුව පැවැසුවාය.නීතිඥ, බුද්ධික ගයාන් මහතාගේ මව දීපානි මහත්මිය සහ පියා වන අමරපාල මල්ලවආරච්චි(72) මහතා පදිංචිව සිටින්නේ ඇල්පිටිය, පිටිගල ගොඩාමුණ ගම්මානයේය.
සිය බාල පුතාගේ අකල් වියෝවෙන් ඇයත් සහ සැමියාත් තවමත් සිටින්නේ දරාගත නොහැකි වේදනාවකිනි.බුද්ධික පුතාට සහ නිසංසලා ලේලියට ගෙන යන්න සූදානම් කර තිබූ කෙසෙල් කැන සහ ගෙවත්තේ වගා කරන ලද එළවළු මල්ල තවමත් ගෙයි මුල්ලක තබා තිබෙනු දැකගත හැකිවිය.
අම්මයි තාත්තයි අතුරුගිරියේ පදිංචිව සිටින නිවසට එක්කගෙන යන්න රෑ වෙලා එනවා යැයි දුරකතනයෙන් කතාකර පැවැසූ දිනයේම සවස දයානිගේ සහ සමරපාලගේ ආදරණීය ලොකු පුතා ඔහුගේ ආදරණීය බිරිය පාතාල වෙඩික්කරුවන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වූයේ ඉතාම අවාසනාවන්ත අයුරිනි.
නීතිඥ බුද්ධික මහතාගේ මව වන දයානි මහත්මිය මෙසේ ද පැවසුවාය. අපි හරි දුප්පත් මිනිස්සු. එදිනෙදා වේල හොයාගන්න නොවිඳිනා දුක් වින්දා. කටු මැටි ගහපු ගෙපලක තමයි අපි මුල් කාලයේ ජීවත් වුණේ. මගේ සැමියා කිතුල් රා මැද්දා. මම කුලී වැඩකළා. රබර් කිරි කපන්න ගියා. කඳු නැගලා කරලා තමා රබර් කිරි කපන්න ගියේ. අපට කියලා වෙන කිසිම ආදායමක් තිබුණේ නැහැ. දරුවෝ දෙන්න හදාගන්න අපි දෙන්නා නොගත්ත උත්සාහයක් නැහැ. සමහර දවස්වලට අපි දෙන්නා ඇල් වතුර ටිකක් බීලා කුසගිනි දරුවන්ගේ කුසගින්න නිවා දැම්මා. මගේ සැමියා මදින්න කිතුල්ගහකට නැගලා ඉද්දි ඒ ගහෙන් පාත් වෙලා ඔත්පල වුණා. ඒ 2003 වසරේදී විතර. සැමියා ඔත්පල වුණාට පස්සේ එයාට කිසිම වැඩක් පලක් කරගන්න බැරිව ගියා. මේ නිසා මම තවත් අසරණ වුණා. ඔත්පල වුණු නිසා වැඩක් පළක් කර ගැනීමට නොහැකි වුණු මගේ සැමියායි දරුවෝ දෙන්නවයි රැකබලා ගනිමින් උස්මහත් කර ගන්න මම තව තවත් නොවිඳිනා දුක් වින්දා. හැබැයි මට ලොකු ආත්ම ශක්තියක් සහ ධෛර්යයක් තිබුණා. ලොකු පුතා කුඩා කාලයේ ඉඳලම ඉගෙන ගන්න හරිම දක්ෂයා. අම්මා කෙනෙක් වශයෙන් මම විඳින දුක් කන්දරා ගැන ලොකු පුතායි පොඩි පුතායි හොඳට තේරුම් අරගෙන හිටියේ. අපේ තියෙන නැති බැරි කම් නිසා දෙන්නම අනවශ්‍ය දේවල් ඉල්ලලා කරදර කළේ නැහැ.
පවුලේ තියෙන අගහිගකම් මැද්දේ පුතා හොඳට ඉගෙන ගත්තා. ලොකු පුතාට යමක් කමක් තේරෙන කාලේ ඉඳලා කොහොම හරි මුළු පවුලම ගොඩදාන්න ඕනෑ කියන අදහස තිබුණා. අම්මේ මම කොහොම හරි හොඳට ඉගෙන ගෙන අම්මයි තාත්තයි මේ දුක් කන්දරාවලින් ගොඩ ගන්නවා කියලා නිතරම කිව්වා. අපි දෙන්නා විඳින දුක් කන්දරා ගැන දැකලා එයා හරියට දුක් වුණා. හරිම උණුවෙන හිතක් තමා පොඩි පුතාට තිබුණේ. ලොකු පුතාත් ඒ වගේම කෙනෙක්, ඒ දෙන්නම අපි දෙන්නට පුදුම ආදරයක් තිබුණේ.
පුතා දවසක් මම කුලියට කිරි කපන්න ගිහිල්ලා ඉන්නකොට මගේ ළගට ඇවිත් කිව්වා අම්මේ මට නීති උපාධිය හදාරන්න ඕනෑ, අම්මට පුළුවනි ද මට සල්ලි හොයලා දෙන්න කියලා. මම කොච්චර අමාරුකම් තිබුණත් පුතාට කිව්වා කොහොම හරි පුතේ මම සල්ලි හොයලා දෙන්නම් පුතා හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න කියලා.
මම පුංචි කාලෙම මගේ අම්මා මියගොස් තිබුණා. මම කොච්චර පුංවිද කියනව නම් අම්මා ගැන. නැහැ පස්සේ කාලෙක තාත්තත් මියැදුණා. මම තුන්වැනි වසරට වෙනකම් විතරයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා මම ඉගෙනීමේ ඇති වටිනාකම හොඳට තේරුම් අරගෙන හිටියා. ඒ නිසාම ලොකු පුතාට කොහොමහරි උගන්වන්න ඕනැයි කියන අධිෂ්ඨානය මට තිබුණා. යැයි ද ඇය පැවසුවාය. බුද්ධික ගේ මව පවසන ආකාරයට ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බූන්දල ප්‍රාථමික විද්‍යාලයෙනි.පසුව මැයිහේන මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන ඉහළ සාමාර්ථයක් ලබා උසස්පෙළ හැදෑරීම සඳහා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයට ගොස් ඇත.උසස් පෙළ ද උසස් ලෙස සමත් වූ බුද්ධි කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නීති පීඨයෙන් උපාධිය හදාරා එයින් සමත් විය.
බුද්ධික පුතාගේ මතකය අවදී කරමින් ඇය මෙසේද කීවාය.
බුද්ධික පුතා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න. කාලයේ ඉඳලම නීතිය හැදෑරුවා. එයා ඉගෙනගන්න හරියට මහන්සි වුණා. පස්සේ නීතිඥයකු විදිහට දිවුරුම් දුන්නා. පුතා නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන්න උත්සවයට අපට යන්න බැරුව ගියා. පුතා කළු කබායකුත් ඇඳගෙන ඇවිත් අපි දෙන්නට දණගහලා වැඳලා අම්මගෙයි තාත්තගෙයි දුක් මහන්සියෙ ප්‍රතිඵල මේ තමයි කියලා කිව්වා මට අද වගේ මතකයි. මින් පස්සේ අම්මටයි තාත්තටයි දුක් විඳින්න දෙන්නේ නැහැ කියලා කිච්චා. පුතා දැකලා අපි දෙන්නට අවුරුදු ගාණක් තිස්සේ වින්ද දුක් කන්දරා අමතකවෙලා ගියා. කියන්න බැරි තරම් සතුටක් පුතා දැකලා අපි දෙන්නට ඇතිවුණේ.
පුතා විවාහ වුණේ කැම්පස් එකේදී යාළුවෙලා උන්නු ගැනු ළමයෙක් එක්ක. නිසංසලා කියන ඒ ගෑනු දරුවා පුදුම ගතිගුණ තියෙන කෙනෙක්. ඒගොල්ලන්ට යමක්කමක් තිබුණු අය. ඒ වුණාට හරි සීදේවි ළමයා. මගේ ලේලි මගේම දුවෙක් වගේ. දුවෙක් නැති අපට දුවෙක් වෙලා හිටියේ. අපි දෙන්නගේ දුක සැප ලේලිත් නිතරම සොයා බැලුවා.
හැමදාම වගේ අපට අතුරුගිරියේ පදිංචිවෙලා ගෙදර ඉඳලා කතා කළා. පුතාටයි ලේලිටයි ඔය වෙඩි තියලා මරා දැම්ම දවසෙ උදේ සැමියාට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. මෙන්නමෙන්න පොඩි පුතා කතා කරනවා කියා ෆෝන් එක මට දුන්නා. අම්මේ තාත්තයි ඔයයි එක්කගෙන යන්න මම රෑ වෙලා හරි කොහොම හරි ගෙදර එන්න ඉන්නේ. මොකක් හරි හේතුවක් නිසා බැරුව ගියොත් පහුවදා උදේ පාන්දරම එනවා ලෑස්ති වෙලා ඉන්න කියා පුතා මට කිව්වා. ලේලිත් ඒ වෙලාවේ කතා කළා. ලේලිත් ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් කරනවා. එයත් උපාධිධාරිනියක්.
පුතා ගමේ කෑම කන්න හරිම ආසයි. පුතාලගේ ගෙදර ගෙනියන්න ගෙවත්තේ තිබුණු කෙසෙල් ගසකින් හොඳ කෙසෙල් කැනක්ද කැපුවා. ගෙවත්තේ වගා කරලා තියෙන එළවළුත් කඩලා මල්ලක දමා ගත්තා. අපි හැමදාම පුතාලාගේ ගෙදර යන විට මේ විදිහට කෙසෙල් කැනක් සහ එළවළු අරගෙන යනවා. ගමේ ගොඩේ හැදෙන දේවල් කන්න පුතාත් ලේලිත් හරිම ආසයි.
පුතා සල්ලි හම්බ කරන්නට පටන් ගත්තයින් පස්සේ හැම මාසයකම අපේ වියදමට රුපියල් හතළිස් දහසක් නොවරදවාම එවනවා. දැන් කිරිකපන්න කුලී වැඩ කරන්න යන්න එපා. අම්මා දුක් වින්දා හොඳටම ඇති කියලා වැඩ කරන්න යන එක නවත්තන්න කිව්වා. ගෙදර එනකොට පුතයි ලේලියි ගෙදරට අවශ්‍ය සෑම බඩුමුට්ටුවක්ම අරගෙන එනවා. බේත් හේත් ගන්න වුණාම ඒවටත් වෙනම වියදම් කරනවා. අපි දෙන්නට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. හොඳට සැලකුවා.දැනට අවුරුදු දෙකකට විතර කලින් අපි ඉන්න මේ ගේ ළඟින්ම පක්චර්ස් 15ක විතර ඉඩම් කෑල්ලක් අරගෙන දුන්නා. ඒ ඉඩමේ අපි තේ ටිකක් චංචලා තියෙනවා. ඒකෙනුත් පොඩි ආදායමක් ගත්තා.
අපි මුලින්ම පදිංචිවෙලා හිටියේ කටුමැටි ගහපු ගෙපලක. 2003 ගංවතුරක් ඇවිත් අපේ ගේ බඩුමුට්ටුත් එක්ක විනාශ වෙලා ගියා. දරුවෝ දෙන්නටයි අපි දෙන්නටයි යන එන මං නැතිවුණා. පුතාලා දෙන්නගේ ඉස්කෝල පොත්පත් පවා විනාශ වෙලා ගියා . ඒ කාලේ තිබුණේ චන්ද්‍රිකා මැඩම්ගේ ආණ්ඩුවක්. අපට රුපියල් ලක්ෂයක් ලැබුණා. ඒ සල්ලිවලින් තමා මේ දැන් ඉන්න ගේ හදාගත්තේ. ගමේ අහල පහළ අය අපට හරියට උදව් උපකාර කළා. පොඩි පුතාට ඉගෙන ගන්න පවා ගමේ අහල පහල උදවිය හරියට උදව් උපකාර කළා. ගමේ හැම කෙනාගේම ආදරය කරුණාව අනුකම්පාව අපට ලැබී තිබුණා. ගංවතුරට අහුවෙලා පොත්පත් විනාශ වෙච්ච වෙලාවේ පුතාලා දෙන්නට අවශ්‍ය පොත්පත් ඇඳුම් පවා ගමේ උදවිය අරන් දුන්නා. මගේ පෙරකදෝරු පුතත් ගමේ අය අමතක කළේ නැහැ.
මම කිරි කපලා විඳින්න පුළුවන් හැම දුක් ගැහැටක්ම විඳලා ලොකු මහත් කරපු පුතා එයාගේ නෝන මේ විදිහට මරලා දැම්මේ ඇයි දෙයියනේ. යැයි කියමින් ඇය හඬා වැලපෙන්නීය. අම්මයි තාත්තයි ඉදිරියේ ජීවත්වෙන්නේ කෙසේදැයි ඇසූ පැනයට දයානි මහත්මිය දුන්නේ මෙවැනි පිළිතුරකි.
පුතා කාලයක ඉඳලා අපි දෙන්නට රුපියල් හතළිස් දහසක මුදලක් එවනවා. ඊට අමතරව ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටික එනකොට ඇවිත් දෙනවා. බේත් හේත්වලටත් වියදම් කළා. දැන් ඉතින් ආයෙත් මට කිරි කපන්න යන්න වෙනවා. කිරි නොකපන කාලයට කුලී වැඩ කරන්න යන්නත් වෙනවා. දෛවයේ හැටි ඔහොම තමා යැයි යැයිද ඇය කීවාය සිය සහෝදරයාගේ අකල් වියෝ වුණු වහාම ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටි බාල සොයුරා මෙරටට පැමිණියේය.
(ශ්‍රීනාත් පුසන්න ජයසූරිය- lankadeepa )
