ප්‍රේම ඇරයුම ප්‍රතික්ෂේප කළ ටික්ටොක් තරුව ඝා තකයාට ම රණ දණ්ඩනය
පාකිස්තානයේ අතිශය ජනප්‍රිය 17 හැවිරිදි ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් තරුවක් වූ සනා යූසුෆ් (Sana Yousaf) නමැති තරුණිය වෙඩි තබා ඝාතනය කිරීමේ වරදකරු වූ 23 හැවිරිදි උමර් හයාත් (Umar Hayat) නමැත්තාට ඉස්ලාමාබාද් මහාධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කර තිබේ. පසුගිය වසරේ ජුනි මාසයේදී ඇගේ උපන්දිනය දා නිවසටම කඩාවැදී සිදුකළ මෙම බිහිසුණු අපරාධයට අදාළව, වින්දිත තරුණියගේ පවුලේ අයට ඇමරිකානු ඩොලර් 9,000කට ආසන්න වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත. තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන ලෙස කළ බලපෑම් සනා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ සැකකරු, CCTV කැමරා දර්ශන ඇතුළු තාක්ෂණික සාක්ෂි 113ක් ඔස්සේ මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට එරට පොලිසිය සමත් විය.
මෙම අමානුෂික ඝාතනයත් සමඟ පාකිස්තානය පුරා කාන්තා ආරක්ෂාව සහ අන්තර්ජාලය තුළ කාන්තා නිර්මාණකරුවන්ට එල්ල වන තර්ජන පිළිබඳව දැඩි සමාජ කතිකාවතක් මෙන්ම විරෝධතා රැල්ලක් ද නිර්මාණය විය. මිලියනයකට අධික අනුගාමිකයින් පිරිසක් සිටි සනාගේ මරණයෙන් පසුව පවා සයිබර් අවකාශය තුළ ඇයට විවිධ විවේචන එල්ල වූ අතර, සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙය එරට පවතින පිතෘමූලික සහ කාන්තා ද්වේෂී මානසිකත්වයේ දරුණු ප්‍රතිඵලයක් බවයි. කෙසේ වෙතත්, මෙම අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් සනාගේ පියා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට මෙවැනි සාහසික අපරාධවලට පෙළඹෙන පුද්ගලයින්ට මෙය සමාජය හමුවේ කදිම පාඩමක් වනු ඇති බවයි.
