දෙවනුවට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන බෝවන රෝ ගය
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවෙන් මී උණ රෝගීන් 1,800කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය ප්‍රකාශ කළේ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවයි.
මෙරට දෙවනුවට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන බෝවන රෝගය ලෙස සැලකෙන මී උණ රෝගය (Leptospirosis) හේතුවෙන් වාර්ෂිකව රෝගීන් 13,000ක් පමණ වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා වේ. එමෙන්ම, පසුගිය වසර කිහිපය පුරාම මෙම රෝගය හේතුවෙන් වාර්ෂිකව මරණ 100ත් 200ත් අතර ප්‍රමාණයක් සිදුවී ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.
විශේෂයෙන්ම මඩ සහ ජලය ආශ්‍රිතව වී ගොවිතැනේ නිරත වන ගොවීන්, ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී සිටින පුද්ගලයින්, කුඹුරු සහ පතල් කර්මාන්තය වැනි ජලය ආශ්රිත වෙනත් රැකියාවල හා රාජකාරිවල නිරත වන්නන් මෙම රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.
තද උණ, දැඩි මස්පිඬු වේදනාව සහ ඇස් රතුවීම මී උණ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, මීට අමතරව වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමඟ ලේ පිටවීම මෙන්ම මුත්‍රා පිටවීම අඩුවීම වැනි ලක්ෂණ ද රෝගීන්ගෙන් මතු විය හැකිය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය දරුණු මට්ටමකට පත්වීම වළක්වා ගත හැකි බවත්, ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් වකුගඩු, අක්මාව සහ මොළය ඇතුළු අභ්‍යන්තර අවයවවලට දැඩි හානි සිදුවී මරණය පවා සිදුවිය හැකි බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
රෝග නිවාරණ පියවරක් ලෙස, කුඹුරු සහ ජලය ආශ්රිත අවදානම් රැකියාවල නිරත වන පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ පුද්ගලයින්ට තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා මෙම ප්‍රතිජීවක ඖෂධය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගැනීමේ හැකියාව පවතින බවද වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
gossip lanka news
