සැමියා හා ආරවුලකින් පසු හිත් බිඳගත් නදීෂානි ටීචර් මුහුද ඇතුළට නොපෙනී ගියාය
පවුල් ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගිය බව කියන පාසල් ගුරුවරියකගේ මළ සිරුරක් කළුතර දකුණ කැලිඩෝ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ, කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නදීෂානි තරංගිකා අමරනායක නැමති එක්දරු මවකි.
ඇය මොරගහහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇති අතර, ඇගේ සැමියා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයා ලෙස කටයුතු කරයි.
පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය අප්‍රේල් 29 වැනිදා ඇය සිය යෙහෙළියකගේ මංගල සාදයකට සහභාගී වී ඇති මුත් සැමියාගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඔහුට ඊට එක්වීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් දෙදෙනා අතර යම් අමනාපයක් හටගෙන තිබේ.
ඉන් අනතුරුව අප්‍රේල් 30 වැනිදා ඇගේ සැමියා කොළඹ පැවති පාසල් උත්සවයකට සහභාගී වී ඇති අතර, ඊට නොයන ලෙස බිරිඳ විසින් අවස්ථා කිහිපයකදීම ඔහුට පවසා ඇත.
එදින සිය සැමියාට දුරකථන ඇමතුම් කිහිපයක්ද ලබාදීමෙන් පසු මෙම ගුරුවරිය නිවසින් පිටව ගොස් ඇති අතර, සිය එකම පුතු සහ මව ඇය නොයන ලෙස පවසමින් පසුපස ගියද ඇය ත්‍රිරෝද රථයක නැඟී පිටව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බිරිඳගෙන් දිගින් දිගටම ලැබුණු දුරකථන ඇමතුම් හේතුවෙන් නිවසට පැමිණි සැමියා ඇය නිවසින් පිටව ගොස් ඇති බව දැනගැනීමෙන් පසු එදින මධ්‍යම රාත්‍රී 12.40 ට පමණ ඒ පිළිබඳව මොරගහහේන පොලිසියට පැමිණිලි කර ඇත.
Discover more
South Asians & Diaspora
Beaches & Islands
Geographic Reference
ඉන් අනතුරුව මැයි 01 වැනිදා පස්වරුවේ ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කළුතර දකුණ පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව කැලිඩෝ වෙරළ තීරයේ තිබී ඇගේ මළ සිරුර සොයාගන්නා ලදී.
මැයි 02 වැනිදා මියගිය ගුරුවරියගේ සැමියා සහ මව විසින් කළුතර නාගොඩ රෝහලේදී අදාළ සිරුර හඳුනාගත් අතර, කළුතර නාගරික හදිසි මරණ පරීක්ෂක නිරෝෂා දිල්රුක්ෂි මහත්මියගේ නියෝග මත නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එස්. අත්තනායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.
මෙය විමර්ශනය වෙමින් පවතින මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරිය තීන්දු කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා සිරුරේ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක වයි. නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් සිල්වා (55318) සහ පොලිස් කොස්තාපල් ඒකනායක (31060) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.
මෙම ගුරුවරියගේ අවසන් කටයුතු පසුගිය මැයි 03 වැනිදා වීදියගොඩ, කනත්තගොඩ පොදු සුසාන භූමියේදී සිදු කර තිබේ.
gossip lanka news
