නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නෑ”- ජනපති අනුර පවසයි
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (මැයි 22) පෙරවරුවේ එක් වෙමිනි.
මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම මෙන් ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජයට බලයට පත් කරගැනීමේදී ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂාව වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙන බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද බලය, ධනය සහ තරාතිරම නොබලා සෑමට නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද පෙන්වා දුන්නේය.
එසේ ම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
