පල්ලෙගම හිමිගේ DNA වාර්තාව නිකුත්වේ
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිදුවීමකට සම්බන්ධයෙන් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි අවධානයක් සහ අධීක්ෂණයක් යොමුව ඇති බව රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. ඇය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් මේ බව කියා සිටියේ ඊයේ (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් කරුණු විමසනු ලැබීය.
ඊට පිළිතුරු දෙමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, මෙම අපරාධ වරදට අදාළ පළමු ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ වාර්තාව මේ වන විටත් පොලිසිය වෙත ලැබී ඇති බවයි. එමෙන්ම, සිද්ධිය සම්බන්ධ දෙවන ඩී.එන්.ඒ. වාර්තාව ද ඉදිරි කාලයේදී ලැබීමට නියමිතව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විමර්ශන කටයුතුවල තවත් ප්‍රගතියක් පෙන්වමින්, සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ මෙන්ම වින්දිත දැරියගේ සහ ඇයගේ මවගේ ජංගම දුරකතනවලට අදාළ විශ්ලේෂණ වාර්තා (Call Detail Analysis Reports) ද ලබාගෙන දැනටමත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ අතර, සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් මූලික විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් තමන් මේ මොහොතේ කිසිදු විශේෂ කරුණු දැක්වීමක් සිදු නොකරන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මෙම සිදුවීමට අදාළ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කඩිනමින් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා ලෙසයි. ඒ පිළිබඳව ක්‍රියා කරන ලෙස නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කෙරිණි.
මෙම නඩුව නැවත වරක් ලබන අගෝස්තු මස 21 වැනිදා කැඳවීමට නියමිතව ඇත. එදිනට විමර්ශනවල වත්මන් ප්‍රගතිය ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සහ වින්දිත දැරියගේ මවට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග නිකුත් කළේය.
Gosip lanaka news
