පෙම් සුව විඳින මුවාවෙන් මත් ජාවාරම් කළ ජනප්‍රිය යුවළ අත්අඩංගුවට
යතුරුපැදියකින් ගමන් කරමින් අතුරු මාර්ගවල පාළු ස්ථානවල පෙම්වතුන් සේ රැඳී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මත්පෙති ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවළක් මත්පෙති 90ක් ද සමගින් අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත්ව තිබේ.
මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියෙහි පසුවන යුවළකි. පාදුක්ක පොලිස් වසමට අයත් අතුරු මාර්ගවල පාළු ස්ථාන තෝරාගනිමින් පෙම්සුව විඳින මුවාවෙන් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පොලිස් සැරයන් (53529) කළුආරච්චි මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරී කණ්ඩායමක් පාදුක්ක මාවතගම පාසල් මාවතේදී උපායදූතයෙකු යොදවා රුපියල් දහසක මුදලකට මත්පෙති 10ක් අඩංගු කාඩ්පතක් මිලදී ගෙන තිබේ. පසුව එම මත්පෙති වර්ගය ‘මල්පෙති’ බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, ලබාදුන් සංඥාවකට අනුව අසල නිරීක්ෂණ රාජකාරියේ නිරතව සිටි අනෙකුත් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පරීක්ෂා කිරීමේදී මත්පෙති අලෙවියෙන් උපයාගත් රුපියල් 1000ක මුදලට අමතරව ඔවුන් සන්තකයේ තිබී තවත් මත්පෙති 80ක් සහ ජාවාරම සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර තරුණයා මීට පෙරද මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස්ව සිටින අයෙකු බව හෙළිවී ඇත.
මෙම අඹුසැමි යුවළ තමන්ගේ ජීවනෝපාය ලෙස කලක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර පාසල් සිසුන් මෙන්ම කාන්තාවන් පවා මොවුන්ගෙන් මත්පෙති මිලදී ගෙන ඇති බව නිරීක්ෂණය වී තිබේ. කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙස පාළු ස්ථානවල පෙම්වතුන් සේ රැඳී සිටිමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් යුවළ ඉදිරි අධිකරණ කටයුතු සඳහා පාදුක්ක පොලිසිය වෙත භාරදී ඇත.
gossip lanka news
