පාර්ලිමේන්තුවෙ ලිං ගික හි රිහැර ගැන කතානායක කතා කරයි.
පාර්ලිමේන්තුවේ ඇතැම් අංශවල සේවය කරන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒ සම්බන්ධයෙන් සොයා බැලූ බවත් එවැනි ආකාරයේ බලපෑම් සිදු වූ බවට කිසිඳු පැමිණිල්ලක් අධ්යක්ෂ (පරිපාලන) වෙත ලැබී නොමැති බව කාථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කළ පෙරේදා (07) දිනයේදීම තමන් සොයා බැලු බවත් එවැනි ආකාරයේ කිසිඳු හිරිහැරයක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී නොමැති බවත් කථානායකවරයා සඳහන් කළේය.
කෙසේ වුවද අදාළ අංශයේ සේවය කරන පිරිස් කැඳවා මේ සම්බන්ධයෙන් විමසීම් තව දුරටත් සිදුකරන ලෙස දැනුම් දුන් බවද කථානායකවරයා සඳහන් කළේය.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති නලින්ද ජයතිස්ස මහතා මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමෙන් පසුව සිය අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ ඇමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සේවය කරන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි. එමෙන්ම එවැනි සිදුවීමක් සිදුව නොමැතිනම් පාර්ලිමේන්තුවේ සේවය කරන සියලු කාන්තාවන් දැඩි ලෙස අපහසුවට පත්වන බවත් හෙතෙම පැවසිය. එමෙන්ම මෙවැනි සිදුවීමක් සම්බන්ධ පැමිණිලි ලැබී නොමැති බවට කථානායකවරයා සිදුකළ ප්‍රකාශය වෙනුවට මාධ්‍ය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ලිංගික හිරිහැර සිදුවන බවට වන පුවතට බවද ඇමැතිවරයා පැවසීය. කෙසේ වුවද එවැනි සිදුවීමක් සිදුව නොමැති නම් ලේකම් මණ්ඩලයේ උපදෙස් ද සහිතව මෙය නිවැරදි කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.
එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලි ගුණසිංහ මහත්මිය සඳහන් කළේ, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමේදී වගකීමෙන් යුතුව සිදුකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත පැමිණිල්ලක් ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බැලු බවත් එවැනි කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතා සඳහන් කළේ මාධ්‍ය වාර්තා කරන ලද මෙවැනි සිදුවීම් සිදුවන්නේනම් ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස තමන් ඉල්ලීමක් කළ බවයි. මෙවැනි ආකාරයේ සිදුවීම් පසුගිය පාර්ලිමේන්තුව සමයේදී සිදුවූ බව මන්ත්‍රීවරයා පැවසීය.
gossip lanka news