මෙරට ජනගහනය නොසිතූ ගණනකින් ඉහළට
අවසන් වරට ඉකුත් 2012 වසරේදී පවත්වන ලද ජන හා නිවාස සංගණනයට වඩා ඉකුත් වසරේ (2024) පැවැත්වූ සංගණනයේදී ජනගහනය දාහතර ලක්ෂ තුන්දහස් හත්සිය තිස් එකකින් (1,403,731) ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් වසරේ (2024) පවත්වන ලද සංගණනයට අනුව මෙරට ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැට තුන්දහස් එකසිය හැත්තෑවක් (21,763,170) ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉකුත් 2012 වසරේ පැවැති සංගණනයේ මෙරට ජනගහනය 20,359,439 කි.
ජනගහනයේ වාර්ෂික වර්ධන අනුපාතිකය ඉකුත් 2012 වසරේ සිට 2024 කාලය තුළදී අඩුවී ඇතැයිද සංගණනයේදී අනාවරණය වී ඇත.
ඉකුත් 2001-2012 අන්තර් සංගණන කාලයේදී ජනගහනයේ වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7 ක් වූවද, 2021-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදයේ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5 කි.
විශාල ලෙස පැතිරුණු ලෙඩ රෝග හා වසංගත තත්ත්වයන්, යුදමය වාතාවරණය යන කරුණු ජනගහනයේ වර්ධන වේගය අඩුවීමට බලපා තිබේ.
2024 ජන හා නිවාස සංගණනයේ ගණන් ගැනීමේ අදියරට අදාළ ‘දිස්ත්‍රික්ක අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය’ වාර්තාවේ මෙම දත්ත සඳහන් කර තිබේ. 2024 ජන හා නිවාස සංගණනයේ ගණන් ගැනීමේ අදියර ඉකුත් වසරේ (2024) ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ (2025) පෙබරවාරි මාසයේ දෙවන සතිය දක්වා සිදු කෙරුණි.
නව සංගණනයේ දත්තවලට අනුව රටේ සමස්ත ජනගහනයෙන් සියයට 28.1 ක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර, අඩුම ජනගහනයක් පදිංචිව ඇත්තේ උතුරු පළාතේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.3 කි.
ජනගහනයේ වැඩිම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තාවී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 2.23 කි. අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.01 කි.
දිස්ත්‍රික් මට්ටමින් ජනගහන ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේදී වැඩිම ජනගහනයක් පදිංචිව ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයේය. එම දිස්ත්‍රික්කයේ පදිංචි ජනගහනය විසි හතර ලක්ෂ තිස් තුන්දහස් හයසිය අසූ පහකි (2,433,685). දෙවනුවට වැඩිම ජනගහනයක් පදිංචිව ඇත්තේ කොළඹ දිස්ත්රික්කයේය. කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ජනගහනය විසි තුන් ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය හැට එකකි (2,374,461).
මිලියන දෙකකට වැඩි ජනගහනයක් පදිංචිව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පමණක් බවද සංගණන වාර්තාවේ දැක්වේ.
එම දිස්ත්‍රික්ක හැරුණු විට වැඩිම ජනගහණයක් පදිංචිව ඇත්තේ කුරුණෑගල (1,760,829), මහනුවර (1,461,269), කළුතර (1,305,552), රත්නපුර (1,145,138) සහ ගාල්ල (1,096,585) යන දිස්ත්‍රික්කවලය. මෙම සෑම දිස්ත්‍රික්කයකම මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත්ව න බව සංගණන වාර්තාව සඳහන් කරයි.
දිවයිනේ අඩුම ජනගහනයක් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්ක වන්නේ උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434), වවුනියා (172,257) යන දිස්ත්‍රික්කවලය.
වර්ග කිලෝමීටරයකට වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 3,549 කි. අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 50 කි.
මෙරට පළමු වරට සංගණනයක් පවත්වා ඇත්තේ වර්ෂ 1871 දී වන අතර, ඉකුත් වසරේදී (2024) පවත්වන ලද්දේ 15 වැනි ජන හා නිවාස සංගණනය බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සංගණන ඉතිහාසයේ මුල් වරට ඉකුත් වසරේදී (2024) සංගණන දත්ත එකතු කරනු ලැබුවේ ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමෙනි.
ada derana