‘දුමාරේ’ සහ ‘පිට කවරේ’ ලියවුණේ මැදියම් රැයක
මේ දිනවල රොබී ජේ ගයන “දුමාරේ” ගීතය අතිශය ජනප්‍රියයි. මෙම ගීතය රචනා කර ඇත්තේ ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර වැඩවසන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, කලාසූරී ප්‍රවීණ ගේය පද රචක, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි. මින් පෙරත් අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවන් විසින් රචනා කළ ගීත බොහොමයක්ම ගීත සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහක් ඇති කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම පිටකවරේ ගීතය. ඒ නිසාම මෙවර සති අග අරුණ පිනිපලස කතාබහකට අපි අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන්ව සම්බන්ධ කරගන්නට හිතුවා.
මේ දිනවල ඔබවහන්සේ අතින් ලියැවුණු “දුමාරේ” ගීතය අතිශය ජනප්‍රියයි නේද?
ඇත්තටම දුමාරේ ගීතය මවිසින් ලියැවෙන්නේ ඉතා මෑත කාලයකයි. ඒ ගීතයත් පිටකවරේ ගීතය මෙන්ම මැදියම් රැයක මගේ සිතට නැගුණු පදවැලක් කිවහොත් නිවැරැදියි. මගේ විශ්වාසයට අනුව ගී පද රචකයකුට විවේක බුද්ධිය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්. සාමාන්‍යයෙන් ඇමරිකාවට පැමිණ ජීවත්වීමට පටන්ගත් දා සිටම මැදියම් රැය වනතුරුම නින්ද නොයන පුරුද්දක් මට තිබුණා. අදටත් ඒ පුරුද්දෙහි කිසිදු වෙනසක් නැහැ. ඉතින්, මැදියම් රැයවනතුරුම මගේ සිත පසුවන්නේ අවදියෙන්. එවැනි රැයක තමයි පිටකවරේ ගීතය මෙන්ම දුමාරේ ගීතයේ පදවැලත් මගේ සිතට නැගෙන්නේ. මට අද වගේ මතකයි මේ ගීත දෙකම ලියන්නට පෙර මම සුළු වේලාවක් ඇස් පියාගෙන මෙනෙහි කළා ගීතයේ ආරම්භක වදන් පෙළ කොහොමද ගොඩනගන්නේ කියලා. සාමාන්‍යයෙන් මම පෑනක් අතට ගත්ත ගමන් ඔරලෝසුවක වෙලාව බල බලා විභාග ලියනවා වගේ ගීත ලියන හාමුදුරුවෝ නමක් නොවේ. මම ලියන හැම ගීතයකම වචනෙන් වචනෙට බරක් තියලා ලියන්න මම ලොකු උත්සහායක් දරනවා. ඒ බර අඩුවක් නැතුවම දුමාරේ ගීතයෙත් තිබෙන බව මට වගකීමෙන් කිව හැකියි.
මේ ගීතයේ තිබෙන්නේ මගේම ගී පද තනුවක්. මම මේ ගී පදවැල මගේ බොහෝමයක් ගී නිර්මාණවල සංගීත අධ්‍යක්ෂණය කළ කල්‍යාණ මිත්‍රයකු සේ මා සලකන ප්‍රසිද්ධ සංගීතඥයකු වන අනුරාධ අබයසිංහයන් වෙත යොමු කළා. ඒ ගමන්ම ඒ ගීතයේ මෙලඩියත් මවිසින්ම මගේ හඬින් රෙකෝඩ් කරලා ඔහුට යොමු කළා. ඔහු මට කිව්වා, “හාමුදුරුවනේ” හාමුදුරුවෝ දාපු මෙලඩි එකම අපි මේ ගීතයට ගමු.. ඒක කදිමට මේ වචනවලට ගැළපෙනවා කියලා. ඉන්පසුව, මට තිබුණු ලොකුම ගැටලුව වුණේ මේ ගීතයට ගැළපෙනම කටහඬක් සොයාගැනීමයි. මම ඒ වගකීමත් පැවරුවේ අනුරාධ අබයසිංහයන්ට. ඔහු එදාම හවස මට මතකයි රොබී ජේ නම් ගායකයා විසින් ගැයූ වෙනත් ගීතයක් මට යොමු කර තිබුණා. ඒ හඬ ඇත්තටම ඇසුව පළමු සැණින්ම මගේ සිත පැහැරගත්තා. මම ඒ වේලාවෙම අනුරාධ අබයසිංහයන්ට කතාකරලා කිව්වා වෙන කවුරුවත් මේ ගීතයට අවශ්‍ය නැහැ මේ තමයි මම හොයපු හඬ ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුව මේ ගීතය ගයන්න තෝරාගන්න කියලා.
ඔබවහන්සේ අතින් ලියැවුණු ගීත මින් පෙරත් සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහක් ඇති කරන්නට සමත් වුණා, මේ ගී පද රචනා කලාවට යොමු වුණේ කොහොමද?
ඇත්තටම මම පැවිදි දිවියට පත්වුණු කුඩා කාලයේ පටන්ම චිත්‍ර මූර්ති කලාවට වගේම කවියටත් ගීතයටත් දැඩි රුචිකත්වයක් දක්වපු හිමිනමක්. මම කුඩා සාමණේර හිමිනමක් වශයෙන් පිරිවෙන් කිහිපයකම ඉගෙනගෙන තිබෙනවා. එයිනුත් මගේ මූලිකම පිරිවෙන් අධ්‍යාපන ආයතනය වන්නේ බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන. ඉන් අනතුරුව ලක්දිව චිරප්රකට පිරිවෙනක් වශයෙන් විරුදාවලිය ලැබූ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනින් පිරිවෙන් අවසාන විභාගයට මුහුණ දී එයිනුත් සමත් වෙනවා. පසුව, මම ප්‍රාචීන පණ්ඩිත විභාගය සඳහා මරදාන විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වෙනවා. ඒ සියලු විභාගාදියත් ඉහළින්ම සමත් වී උසස් අධ්‍යාපනය සඳහා මම වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනට යොමු වෙනවා. එහිදී රාජකීය පණ්ඩිත විභාගයත් සමත් වී පසුව අපොස උසස් පෙළ විභාගයටත් මුහුණ දී සරසවි වරම් ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා.
මම ගීත කලාවට අත්පොත් තබන්නේ රෑ සමනලී, සියොත් රෑන් වැනි මා ලියූ සරල ගී පදවැල් කිහිපයක් හරහා. එකල අද මෙන් මගෙන් ගී පද වැල් ඉල්ලමින් මා හඹා එන දැවැන්ත ගායකයෝ සිටියේ නැහැ. ගයාන් ලියනගේ නම් මගේ සමකාලීන හිතවතෙක් තමයි ඒ ගීත දෙකම ගායනා කළේ.
මේ වෙද්දී ගීත කොපමණ ප්‍රමාණයක් ලියලා තියෙනවාද?
මගේ මතකයේ හැටියට මේ වනවිට ගීත පනහක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් ලියා තිබෙනවා.
සමාජ අත්දැකීම්, සමාජ කියවීම් එක්කයි ඔබ වහන්සේගේ ගීත බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ, මේ තරම් අත්දැකීම් කොහෙන්ද?
මම මගේ වයසටත් වඩා සමාජ අත්දැකීම් ලබා තිබෙන භික්ෂුවක් බව මට නොපැකිළිව පැවසිය හැකියි. කුඩා කල පටන් මා ගෙවූ අතිශය දුෂ්කර ජීවිතයත් ඉනික්බිතිව, පැවිදි සංස්ථාව තුළ විවිධ අවස්ථාවන්හිදී මා විඳි සහ මුහුණ පෑ බොහෝ අභියෝගයන් සියල්ලම පාහේ ගත්කල ඒ සෑම දෙයක් කෙරෙන්ම මගේ පැවිදි ජීවිතයට මිල කළ නොහැකි අති විශාල අත්දැකීම් සම්භාරයක් එකතු වූ බව කිව හැකියි.
අපි හැමෝගෙම මේ ජීවිත හරියට සීනි තවරපු බෙහෙත් පෙති වගේ. මිනිස්සු ආසම තිත්ත රහට වඩා පැණි රහ භුක්ති විඳින්න. නමුත් සීනි රස ඉවර වුණු ගමන්ම අපට අර තිත්ත රහ දැනෙන්න පටන් ගන්නවා. මිනිස්සු අකැමැතිම අන්න ඒ තිත්ත රහ නමැති ජීවන යථාර්ථය විඳින්න සහ පිළිගන්න. ඉතින් මම මගේ නිර්මාණවලින් ජීවිතේ එහෙම තිත්තක් ඇත්තටම තිබෙන බව රසිකයාට හඟවන්න උත්සහා කරනවා. බෙහෙත ටිකක් තිත්ත බව ඇත්ත. නමුත් අගුණක් නැති බව මම දන්නවා. ඒ හින්දා බොරු කැටයම් නැතුව මම ලියන දේ පපුවලට කාවදින්නම ලියනවා.
ඇමරිකාවේ වෙසෙන මේ ජීවිතේ මේ තරම් අත්දැකීම් තියෙනවද?
ඇමරිකාවේ මම ලබපු අත්දැකීම් විස්තර කරන්න මට මේ ආර්ටිකල් එක පුංචි වැඩියි. එතරම් ජීවන අත්දැකීම් ප්‍රමාණයක් මම මේ ගෙවුණු ජීවිතය තුළ අත්විඳලා තිබෙනවා. නමුත් මම ඒ සෑම අත්දැකීමක්ම අභියෝගයක්ම ජීවිතයට පන්නරයක් කරගෙන ඉදිරියට ගියා මිසක කිසි විටෙකත් ලාභ සත්කාර ඉදිරියේ නැවත ආපස්සට හැරී නැහැ. ඇත්තටම මම කැමැති අභියෝගවලට අභියෝගයක් වෙන්නමයි. මොකද ෂුගර් ප්‍රෙෂර් මනින්න මොන මැෂින් තිබ්බත් මිනිහෙක්ගේ කොන්ෆිඩන්ස් මනින්න අභියෝග හැර වෙන මැෂින් නැහැ.
මුලින්ම ඔබ වහන්සේ ගැන කතා බහක් ඇති වුණේ පිට කවරේ ගීතය නිසා ඒ ගැනත් කියමුද?
සන්ජීව් ලෝන්ලියෙස් විසින් ගැයූ පිටකවරේ ගීතය ගිය වසරේ ජනප්‍රියම ගීතයට හිමි දෙරණ TV රන් සම්මානය හිමිකරගන්නවා දැක්කා. දැනට ඒ ගීතය මිලියන තිහකටත් වඩා වැඩි රසික පිරිසක් නරඹා තිබෙනවා. විකල්ප ධාරාවේ ගීතයක් ඒ තරම් ආදරයකින් වැලඳ ගත්ත අවස්ථාවක් මම මීට පෙර දැක නැහැ. අද කාලේ ලව් කරන කොල්ලෝ කෙල්ලන්ට දිවිනසාගන්න බලකෙරෙන ගීත නිර්මාණ සහ රූප රචනා බිහිවෙන ඩිජිටල්කරණයට ලක්වුණු යුගයක ඊට හාත්පසින්ම වෙනස් විදිහට හිතලා තාරුණ්‍යයේ හිත්වලට පොසිටිව් මොරාල් එකක් දෙන්න පුළුවන් ගීත කිහිපයක් නිර්මාණය කරන්න හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. ඇත්තටම කිව්වොත් පෑන මට තුවක්කුවක්නම් වචන කියන්නේ මට පතොරම්.
“උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි…” මේක තමයි සදාතනික සත්‍යය. ඔබවහන්සේ ලියපු ගීත මේ තරම් සමාජ මාධ්‍යය තුළ වයිරල් වෙද්දී දැනෙන හැඟීම වචන කරොත්
තමන් ලියූ ගීතයක් අසීමිත විදිහට සමාජයේ වෛරල් වෙද්දී අනෙක් රචකයන් සහ නිර්මාණකරුවන් වගේම මමත් ඒ දිහා දකිමින් නිහතමානීව සතුටු වෙනවා. නමුත් මම දන්නවා ප්‍රසිද්ධිය කියන්නේ බොහෝම තාවකාලික දෙයක් බව. ඒ නිසා අද ලැබෙන ඇගයීම් ප්‍රශංසා කිසිවකින් මම උද්දාමයට පත්වෙන්නේ නැහැ. මම ජීවිතේ වඩාත්ම ලජ්ජාශීලී වන්නේ කවුරුන් හෝ මගේ යහළුවෙක් මාව තවත් කෙනෙක් ඉදිරිපිටදී මේ තමයි අහවලා මෙයා මාර දක්ෂයෙක් කියලා මාව හඳුන්වලා දෙද්දී. ඇත්තටම එතකොට මට පොළොව පලාගෙන යන්න ලජ්ජයි. මම මේ කියන්නේ මගේ අවංක හැඟීම. මොකද කිව්වොත් තවමත් මට මාව දක්ෂයෙක් නොවේ කියලමයි මට හැඟෙන්නේ.
මේ වෙද්දී රචනා කර ඇති තවත් ගීත තිබෙනවද?
රොබී ජේ විසින් ගැයූ දුමාරේ ගීතයෙන් පසුව මීට දින කිහිපයකට පෙර සහන් ප්රබුද්ධ විසින් ගැයූ හිමගිර හිසට වැටුණත් කියන ගීතය අප විසින් සමාජ මාධ්‍යට මුදාහරිනු ලැබුවා. මාර්තු මස මැද වන විට ලංකාවේ සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම විසින් මගේ නවතම ගීතයක් එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටිනවා. එය අමු රෙගේ ගීතයක් විදිහටයි ජනගතවන්නේ. ගීතය ගායනා කරනු ලබන්නේ එහි නිත්‍ය ගායන ශිල්පියකු වන ෆැන්ටා නම් සහෝදර ශිල්පියා විසින්. එහි රූප රචනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි හසන්ජිත් කුරුප්පුආරච්චි මහත්මා විසිනුයි. ඊට අමතරව තවත් ගීත දෙකක් පමණ එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ලබන මාසයේ නිකුත්වීමට නියමිත ඒ රෙගේ අමු ගීතයේ මම වඩාත් ප්‍රියකරන කොටසක් උපුටා දක්වන්නට කැමැතියි.
උන් උඹට ඉමිටේෂන්ම නම්
උඹ වෙයං රත්තරං..
පොල් අතුත් වැටෙද්දිම තමයි බං
ගොක් කොළත් ඉස්තරම්..
ඇත්තු යන්නෑ පාරවල්වල
ගජමුතූ වත්කරං..
ඉන්න මේ ටිකේ ඉඳපල්ලා බං
ආදරේ පැක් කරන්
ගීත රචනා ජනප්‍රිය වීමත් එක්කම බොහෝ දෙනා ඔබවහන්සේ ගැන කතා වෙනවා, ඒ එක්කම ඔබවහන්සේ ගැන තොරතුරු දැන ගන්නත් කැමැති නිසා අපි පෞද්ගලික ජීවිතේ තොරතුරුත් බෙදා ගමු.
මගේ ගම දෙහිවල අත්තිඩිය. දෙමාපියන් මේ වනවිට මිය ගිහින්. පියා තිලකසිරි රණවක ඔහු මා කුඩා අවදියේම අතුරුදන්ව තිබෙනවා. අදටත් ඔහුගේ රූපයක් මම දැක නැහැ. මගේ මවගේ නම එස්. එච් ලීලා. ඇය මීට අවුරුදු කිහිපයකට පෙර රෝගාතුරව වියෝවුණා. මට ඉන්නේ එකම නැගණියයි. ඇගේ නම හර්ෂණී ප්‍රනාන්දු. ඇය දැනට විදේශගත රැකියාවක නිරතව සිටිනවා.
සිවුරක් දරන්නේ මොන වයසේදී ද?
මට අවුරුදු දහයක වැනි කුඩා වයසක තමයි මම පැවිදි දිවියට පැමිණෙන්නේ. මගේ පැවිදි ආචාර්යන් වහන්සේ වූයේ අපවත් වී වදාළ ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ අනුශාසකත්වයෙන් එකල අත්තිඩියේ පන්සලේම වැඩ විසූ පදවියේ විමලරතන ස්වාමීන්වහන්සේ විසින් ගෝල හිමිනමක් ලෙස මාව පැළෑඳ රජමහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් කරනු ලැබුවා.
දිගටම ඇමරිකාවේ වෙසෙන්නද ඔබවහන්සේගේ කැමැත්ත
මම ඇමරිකාවට ආවේ මෙහේ සදාකල් ඉන්නවා කියන හැඟීම ඇතුව නොවේ. රටක් ලෝකයක් දකින්න එදා සිට මගේ සිතෙහි ඇල්මක් තිබුණා. යම් ආගමික සේවාවක් කරන්න දැඩි කැමැත්තක් තිබුණා. නමුත්, ඇමරිකාවට ආපු මේ ගමනේ මම ලැබුව අත්දැකීම් එතරම් සුන්දර නැහැ. මානසික පීඩා විඳපු වාර ගණන් කළ නොහැකි තරම්. ලංකාවේ බොහෝ මිනිස්සු ඇමරිකාවට ආවම හරි ඉක්මනට වෙනස් වෙනවා. ගොඩාක් අයගේ මුලින්ම අතුරුදන් වන්නේ මනුෂ්‍යත්වයේ සිනාව. ඒ අතර හොඳ සත්පුරුෂ මිනිසුන් නැතුවාම නොවේ.
අපි මොන පොහොසත් රටක ජීවත් වුණත් වැඩක් නැහැ අපි මනුෂ්‍යත්වයෙන් දුප්පත්නම්. ලංකාවේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ දිග පළල තේරුම්ගන්නනම් දවසක රටක තනිවෙන්නම ඕන. මම හිතනවා පරාර්ථකාමීත්වයෙන් දුප්පත් ආත්මාර්ථකාමීත්වයෙන් පොහොසත් සමාජයක කොඳු නමාගෙන ජීවත් වනවාට වඩා ආත්මාර්ථකාමීත්වයෙන් දුප්පත් පරාර්ථකාමීත්වයෙන් පොහොසත් සමාජයක මියැදෙන එක සැපක් කියලා.