ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලසට දඩුවම් ලැබෙයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මීට වසර 10කට පෙර අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 12 1/2 විත්තිකරුවන් සිව්දෙනාගෙන් වෙන් වෙන්ව අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට රුපියල් 27,000/-ක් සහ ඉතිරි විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000/- බැගින්ද දඩ ගෙවීමටද නියම කළේය.
රජකාරී බලතල අවභාවිතා කරමින් රජයේ නිළධාරීන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන අයුරින් කටයුතු කළ හෘද සාක්ෂියක් නොමැති කෑදරකමට මුදල රැස්කළ මෙවැනි රජයේ නිළධාරීන්ට උපරිම දඬුවම් දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස නමැත්තන්ටය.