ලොවම යලිත් කම්පා වෙයි ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
ඉරානය සහ අමෙරිකාව අතර බදාදා අත්සන් කළ සාම ගිවිසුම අනුව මීට පැය 24කට පමණ පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කෙරිණි.
එම සාම ගිවිසුමේ පළමු වගන්තිය වූයේ අමෙරිකාව හෝ එහි පාර්ශ්වකරුවන් කිසිවෙක් ලෙබනනය ඇතුලු කලාපයේ සටන්බිම් සඳහා කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට එකඟවීමය.
කෙසේ වෙතත් අමෙරිකානු මිත්‍ර පාර්ශ්වය නියෝජනය කරන ඊශ්‍රායලය අදත් (20) දකුණුදිග ලෙබනනයට ප්‍රහාර එල්ල කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසා තිබුණේ, සිය රටේ ආරක්ෂාව පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තම රට සතු බවය.
කෙසේ වෙතත් මෙම ප්‍රහාර හේතුවෙන් අද දකුණු ලෙබනනයේ 32 දෙනෙකු පමණ මිය ගොස් තිබුණි.
මෙම තත්ත්වය පදනම් කර ගනිමින් ඉරානය තීරණය කළේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමටය.
කෙසේ වෙතත් මේ වනවිට ඉරාන අමෙරිකා සාමයේ මැදිහත්කරු වන පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉරානයට පැමිණ තිබේ.
ඒ ඉරාන අමෙරිකා සාම සාකච්ඡා සඳහා තාක්ෂණික පසුබිම සාකච්ඡා කිරීමටය.
මේ අතර ඉරාන – පාකිස්තාන දූත පිරිසක් මේ වනවිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ද මූලික සාකච්ඡා වටයක් පවත්වා තිබෙන බව අමෙරිකාව නිවේදනය කරයි.
ඒ අනුව තාක්ෂණික වටයේ සාකච්ඡා ඉරිදා (21) ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.
සිකුරාදා (19) ස්විස්ටර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම සාකච්ඡා පසුව කල් දැමිණ.
මේ අතර මැදපෙරදිග ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඉහළ ගිය බොරතෙල් මිල ගතවූ දින දෙක තුළ පහළ යාම ඇරඹී තිබුණි.
ගතවූ පැය 24 තුළ ඉන්ධන නෞකා 20ක් පමණ ඒ හරහා යාත්‍රා කර තිබූ අතර අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් ඊයේ (19) පැවසුවේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කළ පළමු පැය 24 තුළ ඉන්ධන බැරල් මිලියන 12ක් පමණ ඒ හරහා ප්‍රවාහනය කෙරුණු බවය.
