මහනුවර තරුණිය මැ රුවා ද? මැ රුණා ද?
මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන විවාහක තරුණියෙකි.
මියගිය තැනැත්තියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී මෙම මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
මරණකාරියගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවය.
කෙසේ වෙතත්, ඇයගේ ස්වාමිපුරුෂයා සඳහන් කර ඇත්තේ තමා සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් අද අලුයම නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවත්, පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බවත්ය.
මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදු කළ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කර සිටී.
ස්වාමිපුරුෂයා විසින් ඇයට පහර දීම හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණෙන බවත්, ඇය දික්කසාද වීමේ සූදානමකින් පසුවූ බවත් ඥාතීන් වැඩිදුරටත් පැවසීය.
මේ අතර මියගිය තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් තරුණයාගේ නිවසේ අය විසින් පොලිසියට සහ මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් තරුණියගේ ඥාතීන් චෝදනා කරන්නේ එම ලිපියේ ඇති අත්අකුරු තම මියගිය දියණියගේ නොවන බවය.
මෙම අවස්ථාවේදී මියගිය තරුණියගේ පාර්ශ්වයේ පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගෙන තිබේ.
ඒ අනුව තරුණියගේ දේහය පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
බලගොල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
