කුමන ව්‍යසන තත්ත්වයක් පැමිණියද රටේ සහල් හිඟ වෙන්නේ නැහැ
ගොවියා ගැන සිතා රජය විසින් වී මිලදී ගන්නවා සේම, සහන ක්‍රමය යටතේ අඩු මිලට රාජ්‍ය සේවකයන්ට සහල් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමින් ගොවියා ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
අනුරාධපුර, විජයපුර, භාතියා මාවත කිලෝමීටර් දෙකක මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මේ සඳහා රජය මඟින් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 68කි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
සුදු සහ රතු නාඩු මාස තුනකට අවශ්‍ය තරම් රට තුළ පවතින බැවින් කුමන ව්‍යසන තත්ත්වයක් පැමිණිය ද සහල් පිළිබඳව ගැටලුවක් ඇති නොවේ. රටේ වී නිෂ්පාදනයේදී කීරි සම්බා ද වගා කරමින් සහල් නිෂ්පාදන විවිධාංගීකරණයක් සිදු කළ යුතු අතර, එමඟින් කූට වෙළෙන්දන්ට ඉහළ මිල යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි වන බව ද අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුව විසින් වී කිලෝවක් රුපියල් 120 බැගින් වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් ලබාගෙන ඇති අතර, එම මිලටම ගොවීන්ගෙන් වී මිලදී ගන්නා ලෙස මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බවත්, ගොවීන් උගසට තබා වී මිල ඉහළ නැංවීමට මෝල් හිමියන් විසින් කූට ලෙස කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
බංකොලොත් වූ භාණ්ඩාගාරයක් සමඟ රට භාරගත් මාලිමා රජය විසින් කෙටි කාලයක් තුළ ප්‍රධාන මාර්ග මෙන්ම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද විශාල මුදලක් වෙන් කර තිබේ. පසුගිය ව්‍යසනවලින් විපතට පත් ජනතාව නැවත නඟාසිටුවීම සඳහා රජය විසින් රුපියල් කෝටි ගණනක මුදලක් වෙන් කර ඇති අතර, පොහොර සහනාධාරය, අස්වැසුම හා මහපොළ ශිෂ්‍යත්වය ඇතුළු සහන ඉහළ නැංවීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත් වත්මන් රජය කටයුතු කර ඇති බව ද පැවසීය.
වත්මන් රජය බලයට පත්වූයේ හොරකම නැවැත්වීමට පමණක් නොව පසුගිය සමයේ දූෂණයන් සිදුකළ දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටය. එම නීති ක්‍රියාත්මක කිරීමේදී හොරුන් කලබල වී ඇති අතර පාස්කු ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය ඇතුළු සියලු දූෂණයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. වී මිල සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදු කරමින් ගොවීන්ට මුවා වී නීතියෙන් බේරීමට ඇතැමුන් උත්සාහ දරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර අතිරේක
