වතුර බෝතල් අලෙවි කරන මුවාවෙන් හොර අරක්කු නිෂ්පාදනය කර රට පුරා බෙදා හැරලා
වතුර බෝතල් අලෙවි කරන මුවාවෙන් නීතිවිරෝධි අරක්කු නිෂ්පාදනය කර රට පුරා බෙදා හැරීමේ නිරත මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා ඇතුළු සිව් දෙනකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකරුවන් සමඟ රුපියල් කෝටි දෙකකට අධික වටිනා අරක්කු බෝතල් තොගයක් නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර පොලිස් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එහි සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතාගේ උපදෙස් මත ඒකක දෙක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩුවෙල මාලබේ සුදර්ශන මාවතේ ජනාකීර්ණ පෙදෙසක පිහිටි තෙමහල් නිෙවසක පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධි අරක්කු නිෂ්පාදන මධ්‍යස්ථානය වැටලූ බව පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකළ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් අවට නිවෙස්වල වහල මතට නැඟ පලායෑමට තැත් කළ බව ද පොලීසිය කියයි.
මෙම ජාවාරම සිදු කරන පුද්ගලයා කලක පටන් කොළඹ සහ අවට සුවිසල් නිවාස කෙටිකාලීන කුලී පදනම මත ලබාගෙන වතුර බෝතල් අලෙවි කරන මුවාවෙන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතාගේ උපදෙස් මත ඒකක දෙක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
බණ්ඩාරගම සමූහ බිමල් ජයසිංහ
