නොසිතු මොහොතක අවසන් ගමන් ගියපු පාසල් සිසුවිය
කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, වරකාපොළ, වාරියගොඩ ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් යතුරුපැදිය පැදවූ තරුණයා බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වරකාපොළ පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ අලව්ව, තල්ගස්යාය, තුම්මුල්ල, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාරා දේවින්දි නැමති සිසුවියකි. ඇය තුම්මුල්ල විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, එහි මැද ගමන් කළ මෙම සිසුවිය අනතුරින් මරණයට පත්ව තිබේ.
අලව්ව දෙස සිට වරකාපොළ දෙසට ධාවනය වූ යුද හමුදා කැබ් රථය, වරකාපොළ සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත. කැබ් රථය පැදවූ යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයාද තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය සිසුවිය, සිය පෙම්වතා සමග මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටියදී, අතරමගදී ඇයගේ සහෝදරයාද යතුරුපැදියට නංවාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. යතුරුපැදිකරුට නින්ද යාම අනතුරට මූලික හේතුව වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මියගිය සිසුවියගේ දේහය වරකාපොළ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka news
