විධිමත් දුම්කොළ පාලන ප්‍රතිපත්තියක් මගින් ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 85,000ක් බේරා ගැනීමට ඇති හැකියාව කෙබඳුද?
ජීවිත බේරාගත් වාර්තාව: විධිමත් දුම්කොළ පාලන ප්‍රතිපත්තියක් මගින් ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 85,000ක් බේරා ගැනීමට ඇති හැකියාව කෙබඳුද?
හෘද පරිවෘත්තීය වෛද්‍ය උපදේශක මහාචාර්ය වෛද්‍ය රොහාන් සැවියෝ සෙක්වෙරා විසිනි.
2025 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ “ජීවිත බේරාගත්” වාර්තාව, ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනයේ අනාගතය වෙත අවධානය යොමු කරයි. වත්මන් ලෝක සෞඛ්‍යය සංවිධානයේ (WHO) ප්‍රතිපත්තිය වෙත දුම්කොළ හානි අවම කිරීම ඇතුළත් කිරීමෙන් ඉදිරි දශක කිහිපය තුළ දස දහස් ගණනකගේ ජීවිත බේරා ගත හැකි ආකාරය මෙම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
හෘද රෝග විශේෂඥයෙකු, දියවැඩියාව, අන්තරාසර්ග විද්‍යාව සහ තරබාරුකම පිළිබඳ වෛද්‍යවරයෙකු ලෙස, දුම්කොළ, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යයට ඇති කරන හානිය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් මා හට ඇත. ජීවිත බේරා ගැනීම පිළිබඳ වූ වාර්තාව අනුව, දුම්කොළ භාවිතය ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ, නොයෙකුත් රෝග සහ ආබාධිතභාවයන් සඳහා හේතු වන ප්‍රධාන සාධක දහයෙන් එකක් ලෙස සැලකේ. මේ අතුරින් මුඛ පිළිකා, විශේෂයෙන් මුඛ ග්‍රසනිකාව ආශ්රිත පිළිකා සඳහා කලාපය තුළ ශ්‍රී ලංකාව ප්රමුඛස්ථානයක් ගෙන ඇත. එමෙන්ම අප ජනගහනය තුළ පෙනහළු ආශ්රිත පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර ලෝකයේ සිදුවන දුම්කොළ ආශ්රිත රෝගී මරණ මිලියන 8.5කින් මිලියන 2.5කටම පෙනහළු පිළිකා හේතු වේ. විෂ අඩංගු දුම් රහිත දුම්කොළ නිෂ්පාදන භාවිතය සහ සම්ප්‍රදායික දුම් සහිත දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ පුද්ගලන් 12000ක් පමණ අකල් මරණ වලට ගොදුරු වේ. වර්තමානය වන විට වැඩිහිටි පිරිමින්ගෙන් 17.7%ක් පමණ දුම් පානය කරන අතර, දුම්පානයට එරෙහි වර්තමානයේ ක්‍රියාත්මක මැදිහත්වීම් වලට පමණක් සීමා වුවහොත්, ඉදිරියේ දී මෙම මරණ සංඛ්‍යාව ඉතා විශාල ලෙස ඉහළ යාමට ඉඩ ඇත.
කෙසේ වුවද මෙම වාර්තාවේ සඳහන් කරුණු සුභදායී හා බලාපොරාත්තු සහගත වේ. ලෝක සෞඛ්‍යය සංවිධානයේ (WHO) MPOWER දත්තවලට අනුව, අඩු අවදානම් සහිත නිකොටින් නිෂ්පාදන සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම, වැඩිදියුණු කළ මර්දන සේවා සහ වැඩිදියුණු කළ පිළිකා සත්කාර වැනි, හානි අවම කිරීමේ උපාය මාර්ග සමඟ ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලංකාවට 2060 වන විට ජීවිත 85,000ක් දක්වා බේරා ගැනීමේ හැකියාවක් පවතී. සංඛ්‍යා යනු සංඛ්‍යාලේඛන පමණක් නොවේ. සෑම අයෙකුම ශෝකයෙන් බර නොවූ පවුලක්, දෙමාපියෙකු අහිමි නොවන දරුවෙකු, සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් සහ වඩා ඵලදායී රටක් ලැබීම සඳහා සුදුසු වේ.
කණගාටුදායක ලෙස, ශ්‍රී ලංකාවේ පවතින නීති සම්පාදක පද්ධතිය මෙම ප්‍රගතියට දායක වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සිගරට් සඳහා දැඩි ලෙස බදු අයකර නියාමනය කිරීම, රත් කරන ලද දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම, හෝ වාෂ්පශීලි නිකොටින් අඩංගු නිෂ්පාදන (Vape) සඳහා නිසි නියාමනයක් හෝ පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමක් කර නොමැත.
දුම් රහිත නිකොටින් ආදේශක සඳහා සීමිත බදු පැනවීමක් සහ පාලනයක් නොමැති බැවින්, මෙම අඩු අවදානම් සහිත විකල්පවලින් 100%ක් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන එනු ලැබේ. නමුත් මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ආදේශක, නිසි ප්‍රමිති තත්ත්ව පරීක්ෂාවන්ට ලක්නොවූ සහ නිසි පාලනයකින් තොරවූ ආදේශක බැවින් එම විකල්ප භාවිතා කරන්නන් අනාරක්ෂිත වේ. එමෙන්ම කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිවූ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් මෙම ආදේශක නිෂ්පාදන තහනම් කළ යුතු යැයි හඬනගා කියා සිටින්නේ එයට තරුණ ප්‍රජාව ආකර්ෂණය වන බව සඳහන් කරමිනි. නමුත් එම තහනම් කිරීම් කිසිවිටෙකත්, ඔවුන් කියාසිටින කරුණ සාක්ෂාත් කිරීමට බලනොපානු ඇත. මෙම තහනම් කිරීම්වල ප්‍රතිඵලය වන්නේ එම තරුණ ප්‍රජාව නිත්‍යානුකුල නොවන ලෙස මෙරටට ගෙන්වූ ප්‍රමිතිගත නොවූ ආදේශක වෙත ඇදීයාම සහ එමඟින් කළුකඩ වෙළෙන්දන් පොහොසත් වීම සහ එම නිෂ්පාදන භාවිත කරන්නන් අගතියට පත්වීම පමණි. මෙවැනි ප්‍රතිඵලදායක නොවන ක්‍රියා තුළින් නිකොටින් සඳහා ඇබ්බැහිවීම සමාජයෙන් තුරන් නොවන අතර අවම හානියක් සහිත විකල්ප නිෂ්පාදන වෙනුවට පාරිභෝගිකයින් තමන්ට ඇති එකම විසඳුම ලෙස සාම්ප්‍රදායික සිගරට්ටුව තෝරාගනු ඇත.
මගේ මතය අනුව, අපි අවදානම් අනුපාතික නියාමනයට ප්‍රවේශ විය යුතුයි. එනම් සිගරට්වලට සාපේක්ෂව මෙම දුම් රහිත නිකොටින් නිෂ්පාදනවල අඩු අවදානම පිළිගන්නා රෙගුලාසි සහ එක් එක් නිෂ්පාදනය මඟින් ඇති කරන අවදානම් මට්ටමට නියාමන ප්‍රවේශය සුදුසු බව සහතික කරන රෙගුලාසි පද්ධතියක් නිර්මාණය කල යුතුයි. මේ අතර, හානිය අඩු කිරීම තරුණ ප්‍රජාවට මේ සඳහා දොරටු විවෘත කිරීමක් නොවන බව සමාජ ගත කළ යුතුයි. වයස් පාලනය, ශක්තිමත් බලාත්මක කිරීම, උල්ලංඝනය කිරීම් සඳහා සිල්ලර වෙළෙන්ඳන්ට දඬුවම් කිරීම සහ සුපරීක්ෂාකාරී සෝදිසි කිරීම් තුළින් තරුණයින් මේවා භාවිතා කිරීම ආරම්භ කිරීමට පෙළඹවීම වැළැක්විය යුතු අතර එවැනි නිෂ්පාදන වැඩිහිටි දුම් පානය කරන්නන් සඳහා පමණක් බව සහතික කළ යුතුයි. රෙගුලාසි හඳුන්වාදීම තරුණ ප්‍රවේශය වැළැක්වීම සඳහා තීරණාත්මක පාලන යාන්ත්‍රණයක් බව නිසැකවම කිව හැක.
ජීවිත බේරාගත් වාර්තාව හුදෙක් පර්යේෂණ වාර්තාවක් පමණක් නොවේ. එහි අඩංගු කරුණු ක්‍රියාවට නැංවිය යුතුය. අප සමාජයේ පවතින යල්පැනගිය අදහස්, ඵලදායී නොවන තහනම් කිරීම් වලින් ඔබ්බට ගොස් නූතන විද්‍යාව සමඟ ගොඩනැගුණු නව නිපැයුම්, සාක්ෂි මත සමාජය විසින් පිළිගත් මානව චර්යාවන් සහ ප්රවණතාවන් අනුගමනය කළ යුතුයි. රටක් ලෙස අප හට ජිවිත දහස් ගණනක් ආරක්ෂා කරගනිමින් මතු පරම්පරාවට වඩා සුරක්ෂිත මාවතක් විවර කරදීමට හැකිය. එමෙන්ම වෛද්‍යවරයෙකු ලෙස මා සිතන්නේ මානව චර්යාවන් සමඟ බැදුණු සමහර ක්‍රියාවලීන් ඉදිරියටත් විකාශනය වන බැවින් එම චර්යාවන් හා වඩා සුරක්ෂිත පරිසරයක් තුළ සිදුකළ යුතු ආකාරය පිළිබඳව කරුණු දැක්වීම මාගේ වගකීමක් ලෙස ය. අවසාන වශයෙන් මා සඳහන් කරන්නේ පවත්නා සාක්ෂි මත නිසි නියාමනයක් යටතේ අවම හානියක් සහිත දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතය තුළින්, සමාජය තුළ සිදුවිය හැකි ජීවිත හානි අවම කිරීමට දායකත්වය ලබා දිය හැකි බව ය. රටක් ලෙස කරුණු කාරණා අවබෝධයෙන් දූරදර්ශී තීරණ ගෙන ඉදිරියට යෑමේ කාලය අප හට උදාවී ඇත.
මහාචාර්ය රොහාන් සැවියෝ සෙක්වෙයිරා
මහාචාර්ය රොහාන් සැවියෝ සෙක්වෙයිරා යනු හෘද රෝග, දියවැඩියාව සහ අධික තරබාරුකම සඳහා වන ප්‍රතිකාර පිළිබඳ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ ඉන්දියානු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. මුම්බායි හි පදිංචි ඔහු ජැස්ලොක්, බ්රීච් කැන්ඩි සහ ශුද්ධ පවුල් රෝහල්වල උපදේශකයෙකි. අන්තරාසර්ග හා පරිවෘත්තීය විද්‍යාව පිළිබඳ හාවඩ් පුහුණුව ලත් ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු ප්රමුඛ ජාත්‍යන්තර වෛද්‍ය ආයතනවල සාමාජිකයෙකු වන අතර මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාරවරයාගේ ගෞරව උපදේශක ලෙස සේවය කළේය. ක්වෙයිරා ටෙක්නොලොජීස් (ClinicJet.com) හි නිර්මාතෘ සහ අභ්‍යන්තර හා හදිසි වෛද්‍ය සඟරාවේ (ඉතාලිය) සහකාර කර්තෘ, වෛද්‍ය සෙක්වෙයිරා දුම්කොළ හානි අවම කිරීම තුළින් සහ සාක්ෂි මත පදනම් වූ සාර්ථක මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ප්‍රමුඛතාවක් ගෙන කටයුතු කරයි.
