1 ශ්‍රේණියේ ඉඳලා 10 ශ්‍රේණිය දක්වා කිසිම සිසුවෙකුට පාසලට ෆෝන් ගේන්න බෑ
මාලදිවයිනේ පාසල් යන දරුවන්ට මින්පස්සේ තමන්ගේ ජංගම දුරකථනය ඉස්කෝලේ අරන් යන එක ලෙහෙසි වෙන්නේ නැහැ. මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ඊයේ රාත්‍රියේ ඉතාමත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කළා.
මේ වගේ හදිසි තීරණයක් ගන්න ප්‍රධානම හේතුව වුණේ මේ මාස මුලදී සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් වගේ පැතිරුණු වීඩියෝවක්. මාලදිවයිනේ අඩ්ඩු මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් සහ ගුරුවරයෙක් අතර ඇතිවුණු බහින්බස්වීමක් හොරෙන්ම වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. මේ සිද්ධියත් එක්ක දෙමාපියන්ගෙනුත් පැමිණිලි ගලාගෙන එන්න පටන් අරන්.
අලුත් නීතියට අනුව 1 ශ්‍රේණියේ ඉඳලා 10 ශ්‍රේණිය දක්වා කිසිම දරුවෙකුට පාසලට ෆෝන් එකක් අරන් එන්න බැහැ. ඒක සම්පූර්ණයෙන්ම තහනම්. මීට කලිනුත් මේ නීතිය තිබුණට ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැති නිසා මෙවර ඉතාමත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කරලා තියෙනවා.
11 සහ 12 ශ්‍රේණිවල ඉන්න ලොකු ළමයින්ට ෆෝන් එකක් අරන් එන්න අවසර තිබුණත්, ඉස්කෝලෙට ආපු ගමන් ඒක “ලොකර්” එකක දාලා ලොක් කරන්න ඕනේ. පන්ති වෙලාවේ ෆෝන් පාවිච්චි කරන්න බැහැ. හැබැයි ඉතින් පොඩි සහනයක් විදිහට ඉන්ටර්වල් එකේදී (විවේක කාලයේදී) විතරක් ෆෝන් එක අතට ගන්න අවසර ලැබෙනවා.
හැම පන්ති කාමරයකටම අවශ්‍ය ලොකර් පද්ධති සවිකරන්න අධ්‍යාපන අමාත්‍යාංශය දැන් වැඩ අරඹලා තියෙනවා. මේ නීතිය ලබන අධ්‍යයන වර්ෂයේ ඉඳලා අකුරටම ක්‍රියාත්මක වෙනවාලු.
