මගේ වීරයෝ ගොඩක් මැද්දේ මට වීරයා වෙන්න වුණා
පූජන ඔබට කොහොමද ෆාදර් සිනමා නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ.
මම ගොඩක් වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙනවා. එක්තරා කාලයක මම මංගල සේනා නායකගේ ජූලියස් සීසර් කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. එහි මාර්ක් ඇන්ටනීගේ චරිතය නිරූපණය කරන්නේ චමින්ද ජයසූරිය. ඔක්ටේවියර් සීසර්ගේ චරිතය නිරූපණය කළේ මම. මම ඒකේ චරිත ගොඩක් නිරූපණය කළා. ඒ විතරක් නෙමෙයි දර්ශන තල නිර්මාණයට, ඇඳුම් නිර්මාණයට වගේම විවිධ දේවල්වලට සම්බන්ධ වෙනවා. මගේ ඇඳුම් මල්ලම ටිකක් ලොකුයි. මොකද ඒ කාලේ ලොකු ජවයකින්නේ වැඩ කරන්නේ.
ඉතිං චමින්ද අයියා හිටියේ අපේ කොල්ලො සෙට් එකත් එක්ක. මම අකලංක, ජෙනා, දේවින්ද වගේ අපේ සෙට් එකක් හිටියා. ඔය කාලේ ඉඳලම චමින්ද අයියා කිව්වේ උඹගෙන් වැඩක් ගන්න ඕනෑ කියලා. හැබැයි ජුලියස් සීසර් නාට්‍යයෙන් පස්සේ අපි නිතර දෙවේලේ හම්බවෙන්නේ නැහැ හැබැයි. මස තුන හතරකට වතාවක් මට කෝල් එකක් එනවා. “මේ වැඩක් පටන් ගන්නේ කියලා” හැබැයි ඒ කියපු කිහිප වතාවක දීම ඒ වැඩේ සිද්ධ වුණේ නැහැ.
ඒ කියන්නේ අමතක වෙන්න දෙන්නේ නැහැ?
අමතක වෙන්න දෙන්නේ නැහැ හැම තිස්සේම ස්පාර්ක් කරනවා ඊට පස්සේ අන්තිමට මම කතා කරලා ඇහැව්වේ චමින්ද අයියේ ඔයා කියන වැඩේ කරනවාද කියලා. නෑ නෑ මේ පාර ඔක්කොම හරි ඔන්න වැඩේ කරනවා කියලා චමින්ද අයියා කිව්වා. රූගත කිරීමට මාස එකහමාරකට කලින් චමින්ද අයියා සියල්ල අවසන් කරලා මගේ අතට පිටපත ගෙනැත් දුන්නා. ඔන්න ඔහොමයි ෆාදර් මට හම්බවෙන්නේ. මේ වැඩේ ඇතුළේ වේදිකාවේ වැඩ කරපු සියයට අනූනවයයි අනූනවයක් සහභාගි කරගන්න ඔහු උත්සාහ කළා.
චමින්ද ගොඩක් නළු නිළියන්ව අඳුරනවානේ. ඔබ හිතන විදිහට මේ චරිතයටත් ඔබව ම තෝරාගත්තා කියලද හිතන්න ඇත්තේ?
චමින්ද අයියා මට කිව්වේ මේ චරිතය මීට කලින් කරන්න හිටියා නම් කරන්න ඉඳලා තියෙන්නේ චමින්ද අයියා. අනික ඔහු මට කිව්වේ මට මේ වැඩේට උඹේ ඔය තියෙන ජවය ඕනෑ” කියලා. මම දන්නේ නෑ එයා මට කිව්වේ එහෙමයි. අනික මම වේදිකාව මූලික කරගෙන හිටපු එක ලොකු අවස්ථාවක්. මම හිතනවා පසුගිය කාලයේ මම කරපු වැඩවල ප්‍රතිඵලයකුත් ඔහුට තියෙන්න ඇති කියලා. ඒක හරි ආදරණීය සහ අභියෝගාත්මක තෝරාගැනීමක්. මොකද චිත්‍රපටයක් කියන්නේ විශාල ධනස්කන්ධයක්. විශාල ප්‍රාග්ධනයක්. අනිත් එක ප්‍රධාන චරිතය කියන එක සංකීර්ණයි. මේ වගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය වෙනවා කියන එක අතිශය සංකීර්ණයි. ඇත්තට ම මගේ වීරයෝ ගොඩක් මැද්දේ තමයි මට වීරයා වෙන්න තිබුණේ.
ෆාදර් චිත්‍රපටයට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?
ඇත්තටම මට ලැබුණේ හෘදයාංගම ප්‍රතිචාර. ඒ කියන්නේ බොක්කෙන් එනවා කියන එක. ඒක මට දැනුණා. ඇත්තටම සතුටුයි. ධනාත්මකයි. මම දැක්කා ඒ ගැන ගොඩක් අය ලියලත් තියෙනවා. නළුවෙක් විදිහට ඒ ගැන විශාල සතුටක් තියෙනවා.
මේක ඔබේ පළමු ප්‍රධාන චරිතය. මේ වෙනුවෙන් සූදානම් වුණේ කොහොමද?
අපි දැන් වේදිකාවේදී සජීවීව රඟපාන්න ඕනෑ හින්ද කොහොමත් හාර්ඩ්වර්ක් කරනවානේ. ඒ පුහුණු වීම මම කොහොමටත් ටෙලිනාට්‍යවලට සහ චිත්‍රපටවලටත් යොදා ගත්තා. එතකොට මේ සඳහාත් ඒ විදිහට ම තමයි සූදානම් වුණේ. මේ ශානරය ගත්තහම ලෝකයේ මේ විදිහේ නිර්මාණ ගොඩක් හැදිලා තියෙනවානේ. මම ඒ නිර්මාණ නැරඹුවා. අනික මම ආසම ශානරයක් තමයි මේක. ඒක හින්දා මට මේක එච්චර අමාරු වුණේ නැහැ. මොකද මම වැඩිපුර බලන්නේ ඇක්ෂන් ක්රයිට් නිර්මාණ. ඒක ඇතුළේ මට ඒ ආසාව, පන්නරය කොහොමත් තිබ්බා. මම හිතුවේ මේ වගේ චිත්‍රපටයක් කවදාහරි දවසක මටම තමයි කරගන්න වෙන්නේ කියලා. දෙයියන්ගේ පිහිටෙන් චමින්ද අයියා ඒක කළා. මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක්. මම ඇත්තට ම මේ කාලයේ නළුවෙක් විදිහට වෙච්ච මහන්සිය ගැන සතුට භුක්ති විඳින කාලයක්.
ඔබට 88-89 කාලවකවානුවේ අත්දැකීම් එහෙම තියෙන්න විදිහක් නැහැනේ?
මම ඉපදුණේ 89යේ. ඒ කාලේ අපේ අම්මා කියලා තියෙනවා මම බඩේ ඉන්න කොටත් මෙහෙම ප්‍රශ්න වෙලා තියෙනවා කියලා. එහෙම අදහසක් නැහැ. හැබැයි මම දේශපාලනික වශයෙන් යම්කිසි ටිකක් අවබෝධ කරගත්තේ කොළඹට ආවට පස්සේ. අනිත් එක අපේ ගම්පළාත්වල ඔය වගේ අත්දැකීම් තිබුණෙත් නැහැ. මොකද පොඩි කාලෙනේ.
පොඩි කාලේ ඕවා තේරෙන්නේ නැහැනේ. ගමේ ආතල් එකත් මම හොඳටම ගත්තා. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල හරහා තමයි මම කොළඹට එන්නේ. අන්න ඒ වයසේ දී තමයි දැනුම හෝ අදහස් ටික ටික වර්ධනය වෙන්නේ. අනික කොළඹ ආවහම හරිම ස්වාධීනයිනේ. තව මම රස්තියාදුවක් ගහන්න ගත්තහම වෙලාවක් කලාවක් නැහැ. මම වගේම ගම්වලින් මෙහෙට සංක්‍රමණය වෙච්ච ගොඩක් යාළුවෝ මට හිටියා. තනිකර බෝඩිං ජීවිත, අතේ සතපහක් නැහැ. එහෙම කාලයක් ගත කළා. ඒකෙන් මාව සෑහෙන පෝෂණය කළා. මේ දේශපාලනය මොකක්ද වෙන්නේ මොකක්ද කියන කාරණා සම්බන්ධව එදිනෙදා සමාජයේ වෙන්නේ මොකද කියන අප්ඩේට් එක තියෙන්න ඕනෑ කියන කාරණාව පිළිබඳව නළුවකුට අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒක මටත් තේරුණේ ටික දවසක් ගියාට පස්සේ.
මේ නිර්මාණයේ ප්‍රධාන කතානායකයා ඔබට මුණගැසිලා තියෙනවාද?
ෆාදර් චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ ඔහු ඒ සඳහා සහභාගි වුණා. මට එදා තමයි ඔහුව මුලින්ම මුණගැසුණේ. එතැන දී මම ඔහුත් එක්ක විනාඩියක් දෙකක් කතා බහ කළා. එතැන දී ඔහු මට කිව්වේ “එන්න අපේ ගෙදර, එතකොට ඔයාට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වේවි” කියලා. නමුත් ඒ මොහොතේ අධ්යක්ෂවරයාගේ තීරණයක් තිබ්බා ඒ චරිතය ම නෙමෙයි ඕනෑ කියලා. ඒ කියන්නේ චරිත ලක්ෂණ නෙමෙයි චරිතයේ අභ්‍යන්තරය ඕනෑ කියලා. ඇත්තටම චමින්ද අයියා කිව්වා “උඹ බය නැතිව වරෙන්. මම උඹෙන් වැඩේ ගන්නවා. උඹේ ඇඟ ඇතුළේ වැඩේ තියෙනවා කියලා” අධ්යක්ෂ චමින්ද අයියා කිව්ව දේ දැන් තමයි මට තේරෙන්නේ. ඔහු පිටපත නිර්මාණය කරලානේ තිබුණේ. අධ්යක්ෂවරයාගේ චිත්‍රණයෙන් මට ඇජෙක්ට් වෙන්න ඕනෑ. ඒක තමයි මම එළියට දෙන්න ඕනෑ. ඔස්මන් අංකල් කියන එක මම පෞද්ගලිකව ගන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. අවුරුදු හැට ගණනාවක් ජීවත් වෙච්ච මනුස්සයාව දැකලා ඉන්ස්පයර් වෙලා තියෙන්නේ චමින්ද අයියා එතකොට මම ආපහු ඉන්ස්පයර් වෙන්න ඕනෑ නෑ. මම වගකියන්න ඕනෑ චමින්ද අයියට ආපහු රූගත කිරීම් අතරතුර අවසන් වරට හම්බවුණා. වචනයක් දෙකක් කතා කළා.
ලොකු භජනයක් නැහැ?
නැහැ… නැහැ… කියන්නේ එයා හරිම ඩීසන්ට්. එයා හරිම වැඩිහිටියෙක්. ඔස්මන් අංකල්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. ඔයාගේ චරිතයේ තරුණ කාලේ හරි මොකක් හරි දැනෙන්න මම කළා ද කියන එකයි. චිත්‍රපටයෙන් පස්සේ මම හරි ආසයි ඔහුව මුණගැසෙන්න. ඔහුගෙන් දැනගන්න ඕනෑ ෆාදර් ඔහුට දැනුනේ කොහාමද කියලා. මම හිතන්නේ එයා චිත්‍රපටය නැරඹුවා. චමින්ද අයියත් කිව්වේ ඒක එයාට සෑහෙන දැනුණා කියලා. මේක ඇත්තට සිද්ධ වෙච්ච මනුස්සයා ඒ ගැනම තේරුම් ගත්තා කියන්නේ ඇතිනේ.
අපි දැක්කානේ පසුගිය කාලයේ කරපු ගොඩක් චරිතාප්‍රදාන සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් ඇති වුණානේ. ඒකට අයිති මිනිස්සුන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්න පෙළඹුණා. ඔස්මන් අංකල් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තොත් අමාරුත් එක්කනේ. ඔහු හරිම සුන්දරයි.
මට පුරුද්දක් තියෙනවා ඉස්සර බස්වල යද්දී මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. හරි අමුතු මිනිස්සු ඉන්නවා. බස් ඇතුළේ පට්ට ආතල්. බස් ජීවිතයට මම මාරම කැමැති කාලයක්. පිස්සු හැදෙන චරිත හම්බ වෙනවා. විශේෂයෙන් බස් ඩ්‍රයිවර්ලා ෆුල් ආතල්. මම අදටත් පාරේ යන්නේ එක්කෝ ත්රීවිලර් එකක. කිලෝ මීටර් එකහමාරක් දෙකක් තමා පයින් ඇවිදින්නේ. ඒක ඇතුළේ මට හම්බ වෙනවා විවිධාකාර ඇවිදීම් රටා. විවිධාකාර හැසිරීම්. විවිධාකාර දේවල් හම්බවෙනවා මම හිතන්නේ ඒක තමයි රීඩ් එක.
ඔහුව දැක්කහම කතාබහ කළා කිව්වනේ. දෙන්නගේ ඇත්තටම තියෙන වෙනස්කම් මොනවාද?
සම්පූර්ණයෙන්ම අපි දෙන්නාගේ පෙනුමත් වෙනස්. ටෝට්ල් වෙනස්. මට චමින්ද අයියත් කිව්වේ එහෙනම් බං මම ඒ වගේම මනුස්සයෙක් ගන්න එපායැ කියලා. මට ඕනෑ ඒ චරිතය එතැන තියන්න නෙමෙයි එයාට ඕනෑ වුණේ ඒක ඇතුළේ තියෙන මොකක් හරි සාරය මගේ ඇඟ ඇතුළෙන් එළියට දෙන්නයි. චමින්ද අයියත් එක්ක කතා කරද්දි ඒක මම තේරුම් ගත්තා.
මම ඔහුව යූ ටියුබ්වල තිබුණ නිවුස් ගොඩක්වලින් පවා අධ්‍යයනය කළා. එතකොට මම දැන ගත්තා එයාගෙයි මගෙයි එක සමාන කමක් තියෙනවා කියලා. ඔහුගේ තරුණ කාලේ හැසිරීම ගොඩක් මට සමානයි. තරුණකමත් එක්ක එන ආවේගශීලී කියන එක. හැබැයි ඔහු වැඩිහිටියෙක් වෙන්න වෙන්න තමයි ඔහුගේ පරිණතකම එන්නේ.
එයා හැමතිස්සෙම අතදාලා තියෙන්නේ මම දැකපු විදිහට එයාට ඇඟට ආපු ප්‍රශ්නවලට මිසක් එයා බලෙන් ගිහිල්ලා දාගත්ත ප්‍රශ්නවලට නෙමෙයි. නෝබෝල්වලට එයා ගහන්න යන්නේ නැහැ. මගෙත් ඒ පුරුද්ද තියෙනවා. ඇඟට ම එන්න ඕනෑ ප්‍රශ්නයක් දාගන්න. මම කියන්නේ අපි හැමෝටම එහෙමනේ. අහකයන ප්‍රශ්න දාගන්න කවුරුත් කැමැති නැහැනේ. හැබැයි එයාගෙයි මගෙයි තියෙන ලොකුම වෙනස තමයි එක තැනකින් එහාට යන්න තරම් මම නිර්භීත නැහැ. එයා නිර්භීතයි.
පූජන කොළඹට එන්නේ කොහේ ඉඳල ද?
මැදවච්චියේ ඉඳලා.
කොහොමද ගමේ ජීවිතය ලංකාවේ ඕනෑම පළාතකට යන්න පැය විසිහතරේම බස් එකක් අපේ ගේ ඉස්සරහින් යනවා. ඒක මාර පොයින්ට් එකක්. මම ඉන්නේ ඒ නයින් පාර ඉස්සරහම. සාමාන්‍යයෙන් මට කොළඹ යන්න ඕනෑ වුණහම බස් එක කීයට ද වගේ බලන්න දෙයක් නැහැ. පාරට බැස්සහම බස් තියෙනවා පෝලිමට. ඊට අමතරව ලස්සන නගරයක්. ටවුන් එකේ සියයට පනහක් විතර ඉන්නේ ඥාති. ඉතින් ඒ කාලේ දං, වීර, පලු ගස් උඩ ගත කළා. ඇත්තට ම මම මුලින් කිව්වා වගේ ගම වින්දා. අවුරුදු විස්සක් විතර වෙනකම් මම මැදවච්චියේ. මම කොළඹට එන්නේ අවුරුදු විසිතුනෙන්.
එතකොට රඟපෑමට තිබුණ උනන්දුව තිබුණේ කොයි වගේ කාලෙද?
පුංචි කාලේ ඉඳලා රඟපෑමේ උණ තිබුණා. විශේෂයෙන් මගේ තාත්තා ඒක හඳුනා ගත්තා. මූ හරියන්නේ නෑ. මූට රඟපාන්න දෙන්න ඕනෑ කියන තැන හිටියා. එයා තමයි මාව මුලින්ම සමන් පුෂ්පකුමාර සර්ට භාර දෙන්නේ. මේක රඟපාන්න තමයි කැමැති කියලා මගේ අම්මයි තාත්තයි මට ඕනෑ මොකක්ද කියන එක තේරුම් අරගෙන ඒක මට පොඩි කාලේ ඉඳලා ලබාදුන්නා. මේ විදිහට මාව හැදෙන්න හේතුව ඒකයි සෑහෙන විශ්වාස කළා. ළමයකුට ඒක මාර වටිනවා කියලා මට හිතෙනවා. මම ලයිෆ් එක අනාගෙන නැහැ.
එතකොට එයාට මම දීපු විශ්වාසය තමයි මාව මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ. මම ගැන ලොකු විශ්වාසයකින් අම්මා අවුරුදු දහතුනක විතර කාලයක් ඉවසාගෙන හිටියා. ඇත්තටම සතුටුයි අම්මා වෙනුවෙන් ඒ විශ්වාසය ඔප්පු කරන්න ලැබීම ගැන.
