මීගොඩ දන්සැල් අනතුරින් මි යගිය එකම පවුලේ 4 දෙනා
මීගොඩ, හයිලෙවල් මාර්ගයේ වෙසක් පොහොය නිමිත්තෙන් පැවැති දන්සලක් අසලදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම පිරිස අතර එකම පවුලේ සමීප ඥාතීන් සිව්දෙනෙකු ද සිටින බව වාර්තා වේ. මීගොඩ බැද්දේගෙදර මුල්ල හන්දිය ආසන්නයේ ක්‍රියාත්මක වූ මෙම රොටි දන්සලේ පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙත අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් කඩා වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් හත් දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනා පිළියන්දල, වෑවල, පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඒ අනුව 56 හැවිරිදි පී. බී. ඉන්ද්‍රාණි නමැති මව, ඇයගේ දියණිය වන 35 හැවිරිදි නවීෂා නිලක්ෂි, යුද හමුදාවේ සේවය කළ 38 හැවිරිදි බෑණා වන ලසික ප්‍රියංකර නානායක්කාර සහ පිළියන්දල සමරකෝන් විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලැබූ ඉන්ද්‍රාණිගේ මල්ලිගේ දියණිය වන 15 හැවිරිදි මලීශා සත්සරනි යන අය මෙලෙස දිවියෙන් සමුගෙන තිබේ.
මියගිය දියණිය සහ බෑණා පදිංචිව සිට ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වන අතර, ඔවුන් පසුගිය සෙනසුරාදා දින පිළියන්දල පිහිටි මව්පියන්ගේ නිවස වෙත පැමිණ ඇත. පසුව වෙසක් සිරි නරඹමින් ඔවුන්ව නැවත අවිස්සාවේල්ලෙහි පිහිටි නිවස වෙත ඇරලීම සඳහා ඉන්ද්‍රාණි මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ත්‍රිරෝද රථයකින් ගමන් ආරම්භ කර තිබේ. එම ගමන අතරතුර මීගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය නවත්වා, එහි ගමන් ගත් පිරිස මාර්ගය අයිනේ තිබූ රොටි දන්සල වෙත ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමිපුරුෂයා සහ දියණියගේ වැඩිමහල් දරුවා වාහනය තුළම රැඳී සිටීම හේතුවෙන් ඔවුන් කිසිදු අනතුරකින් තොරව බේරී තිබේ. කෙසේ වෙතත්, නවීෂා මහත්මිය සිය මාස 18ක් වයසැති කුඩා දරුවා, ස්වාමිපුරුෂයා, මව සහ ඥාති නැඟණිය සමඟ දන්සල් පෝලිමේ රැඳී සිටියදී මෙම බිහිසුණු අනතුරට මුහුණ දී ඇත.
අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථය මාර්ගයේ වම් පස දන්සල් පෝලිමේ සිටි පුද්ගලයන් 13 දෙනෙකු පමණ යට කරමින් නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි. අනතුර සිදුකිරීමෙන් පසු පලාගිය කැබ් රථය පිළිබඳව හෝමාගම ගොඩගම හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු දැනුවත් කිරීමට පියවර ගැනීම නිසා, කැබ් රථය සහ එහි රියදුරු ගොඩගම හන්දියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. සැකකාර රියදුරු ශ්වසන පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහු අනතුර සිදුවන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බව සනාථ වී ඇති අතර, ඔහුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ මෙම අනතුර චේතනාන්විතව සිදු කරන ලද්දක් ලෙස සලකන බවයි. ඒ අනුව රියදුරුට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර, සාමාන්‍ය රිය අනතුරක් වෙනුවට මිනීමැරීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Gossip lanka news
