මාකඳුරේ මධුෂ්ගේ බිරිය අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්ගේ අවසන් කාලයේ බිරිඳ ලෙස සැලකෙන ගයානි මුතුමාලි සහ ඇයගේ වැඩිමහල් පුත්රයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගයානි මුතුමාලි සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියක් මුල් කරගෙනය.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඉකුත් 4 වැනිදා ගාලු මුවදොර පිටිය අසල මාර්ගයේ ගමන් කරමින් සිටියදී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එසේ පැහැරගැනීමෙන් පසුව ඔහුගේ මුහුණ ආවරණය කර වෑන් රථය තුළදීම පහර දී ඇති එම පිරිස, තුවාල ලැබූ කොස්තාපල්වරයාව මහරගම දුම්රියපොළ මාර්ගයේ පිහිටි විහාරස්ථානයක් අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා මාකඳුරේ මධුෂ්ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ සමඟ ගොඩනගාගෙන තිබූ හිතවත්කම පිළිබඳව ඇයගේ වැඩිමහල් පුත්රයා දැඩි විරෝධයකින් සහ කෝපයකින් පසුවූ බව පොලිසිය පවසයි. මෙම කොස්තාපල්වරයා මීට දින කිහිපයකට පෙර මධුෂ්ගේ පුත්රයාගේ උපන් දින සාදයකට ද සහභාගී වී ඇති අතර, මොහු මීට පෙර ග්රෑන්ඩ්පාස්, මාලබේ, රනාල සහ මහරගම යන ප්රදේශවල නවාතැන් ගෙන සිටි බවට ද තොරතුරු හෙළි වී ඇත.
මෙම සබඳතාවය පිළිබඳව මීට පෙර පොලිසියට තොරතුරු ලැබීමත් සමඟ මහරගම පොලිසියට අනුයුක්තව සිටි අදාළ කොස්තාපල්වරයාව මුලතිව් පොලිසිය වෙත ස්ථාන මාරු කර යවා තිබූ බව ද වාර්තා වේ. පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා මේ වන විට මහරගම පොලිසියේ මැදිහත්වීමෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23ත් 38ත් අතර පසුවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
gossip lanka news
