සනත් පුහුණුකාර ධූරයෙන් අස්වෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද (28) සිය ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් මෙහෙයුම වනු ඇත.
මෙම ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් අනතුරුව තමන් පුහුණුකාරීත්වයෙන් ඉවත් වන බව ඔහු වසර ආරම්භයේදීම නිල වශයෙන් බලධාරීන්ට දැනුම් දී තිබුණි. සිය කොන්ත්‍රාත් කාලය තවදුරටත් ඉතිරිව පැවතුණද තමන් ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව ඔහු මාධ්‍ය වෙතද තහවුරු කර ඇත. මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙන් කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා හෝ ගමන් කරනු ඇතැයි ක්‍රීඩාලෝලීන් දැඩි බලාපොරොත්තුවකින් පසුවුවද, කණ්ඩායම මුල් වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීම සම්බන්ධයෙන් ජයසූරිය මහතා දැඩි කනගාටුවකින් පසුවන බවද වාර්තා වේ.
ඔහුගේ පුහුණුකාරීත්වයේ ඉතිහාසය දෙස බැලීමේදී, 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කණ්ඩායමේ සහාය උපදේශකයෙකු ලෙස මුලින්ම එක්වූ ජයසූරිය මහතා, 2024 වසරේ ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තාවකාලික පුහුණුකරු ලෙස කණ්ඩායමේ වගකීම භාරගත්තේය. ඉන් අනතුරුව, ඔහු එම වසරේම ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කරනු ලැබීය.
ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ සමස්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් නියෝජනය කරමින් තරග 74කට සහභාගී වී ඇත. ඉන් තරග 34ක ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වාර්තා කර ඇති අතර, තරග 38ක් පරාජයට පත්වී තවත් තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.
