ඇමරිකා ප්‍රහාරක යානා දෙකක් මත්තලට බාන්න අවසර ඉල්ලලා
මත්තල ගුවන්තොටුපලට ප්‍රහාරක ගුවන් යානා දෙකකට පැමිණීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ඉල්ලා සිටි අතර ගුඩ්විල් විසිට් එකක් සඳහා ලංකාවට පැමිණීමට ඉරාන නෞකා අවසර ඉල්ලා සිටි නමුත් ඒ දෙකටම රජය අවසර නොදුන් බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ලංකා රාජ්‍යය මධ්‍යස්ථ බව රකින්නේ ඒ අයුරින් බවද ජනාධිපතිවරයා කීය.
“අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. ඒ වන විටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය.
පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.
මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය.
අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
