අබුඩාබිහි පහර දීමකින් මිය ගිය චාමිකගේ දේහල ලංකාවට
අබුඩාබි රාජ්‍යයේදී සිදුවූ පහරදීමකින් අවාසනාවන්ත ලෙස මියගිය ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි චාමික ඉෂාන් ලියනගේ නමැති තරුණයාගේ දේහය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ක්ෂණික මැදිහත්වීම හමුවේ දිවයිනට ගෙන ඒමට පියවර ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ සිය අනාගතය සරු කරගැනීමේ අරමුණින් මීට වසර දෙකකට සහ මාස දහයකට පෙර විදේශ රැකියාවක් සඳහා අබුඩාබි බලා පිටත්ව ගිය තරුණයෙකි.
පසුගිය ජූලි මස 14 වැනිදා සිංගප්පූරුවේ සේවය කරමින් සිටි චාමිකගේ මව වෙත ඔහුගේ මිතුරෙකුගෙන් ලද දුරකථන ඇමතුමකින් කියැවුණේ චාමික අසනීප වී රෝහල්ගත කළ බවයි. කෙසේවෙතත්, ඊට පසුදිනම එම මිතුරා නැවත අමතා ඔහු මියගොස් ඇති බව දැනුම් දීමත් සමඟ පවුලේ ඥාතීන් දැඩි අසරණභාවයකට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මියගිය තරුණයාගේ මාමා වන අසංක බන්දුසේන මහතා, තරුණයා විදේශගත කළ ඒජන්සියෙන් තොරතුරු විමසා සිටියද, ගිවිසුම් කාලය ඉක්මවා ඇති බව පවසමින් එම ආයතනය වගකීමෙන් මිදීමට උත්සාහ කර තිබේ.
අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත තොරතුරු යොමු කිරීමට පියවර ගත් අතර, සිංගප්පූරුවේ සිට වහාම දිවයිනට පැමිණි මව සහ ඥාතීන් අවශ්‍ය නීතිමය ලේඛන සූදානම් කරමින් අබුඩාබිහි ආයතන බලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මේ අතරතුර අසරණ වූ පවුලේ ඥාතීන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් යොමුකර ඇති අතර, පසුව එය මකා දැමුවද අග්‍රාමාත්‍යවරියගේ අවධානය ඊට යොමු වී තිබිණි. ඇයගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ලේකම්වරිය හරහා මැදිහත් වෙමින් දේහය ගෙන ඒමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලදී.
එලෙස අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යාංශයේ පරිශ්‍රමයෙන් පසුගිය ජූලි මස 29 වැනිදා දිවයිනට රැගෙන ආ දේහය, කටුනායක ගුවන්තොටුපළ පොලීසිය සහ මීගමුව රෝහල හරහා පරික්ෂණ සඳහා යොමු කෙරිණි. එහිදී සිදුවූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සහ මීගමුව මහේස්ත්‍රාත් නියෝගයට අනුව අනාවරණය වී ඇත්තේ, හිසට සිදුවූ තදබල පහරදීමකින් ලේ කැටි ගැසීම සහ ශරීරයේ ස්ථාන කිහිපයකට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. පහරදීමේ සිදුවීමට සැකපිට ලාංකිකයෙකු අබුඩාබි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සියලු නීතිමය කටයුතුවලින් අනතුරුව චාමිකගේ අවසන් කටයුතු ඊයේ (10) තැඹිලිගල සුසාන භූමියේදී සිදු කෙරිණි.
gossip lanka news
