ඉදිරි කාලයේ එල් නිනෝ තත්වය දරුණු වෙනහැටි ගැන අනතුරු ඇඟවීමක්
එළඹෙන ඔක්තෝබර් මාසයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි වුවද, ලබන වසරේ පළමු කාර්තුව වන විට වර්ෂාපතනය අඩුවී උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් දිවයිනේ ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතා පවසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කර තිබූ “එල් නිනෝ සහ ලා නිනා සමඟ රටේ අනාගතය” තේමාව යටතේ පැවැති සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. එල් නිනෝ සහ ලා නිනා වැනි දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එල් නිනෝ සහ ලා නිනා යන සංසිද්ධි දෙකෙහිම එකතුව “එල් නිනෝ දක්ෂිණ දෝලනය” ලෙස හැඳින්වෙන බව පෙන්වා දුන් අධ්යක්ෂ ජනරාල්වරයා, එය එක් අන්තයක එල් නිනෝ තත්ත්වයද, මධ්‍යයේදී සාමාන්‍ය තත්ත්වයද, අනෙක් අන්තයේ ලා නිනා තත්ත්වයද ඇති කරවන ස්වාභාවික දෝලනයක් බව පැහැදිලි කළේය. ලෝකය පුරා නිරන්තරයෙන් සිදුවන මෙම ස්වාභාවික සංසිද්ධිය අලුත් තත්ත්වයක් නොවන අතර, සාමාන්‍ය කුණාටු දින කිහිපයකටත් මෝසම් සුළං මාස කිහිපයකටත් සීමා වුවද එල් නිනෝ තත්ත්වයක් මාස 8 සිට 10 දක්වා හෝ වසරකට වැඩි කාලයක් පැවැතිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
එල් නිනෝ තත්ත්වය සමඟ ධන IOD තත්ත්වයක් එකවර පැවැතීමෙන් ශ්‍රී ලංකාවේ වර්ෂා රටාව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවත්, සෘණ IOD තත්ත්වයක් පැවැතීම වර්ෂාව වැඩි වීමට හේතු වන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. ජූනි මාසයේදී එල් නිනෝ ආරම්භ වුවහොත් නිරිතදිග මෝසමට සිදුවන බලපෑම සීමිත වන නමුත්, එල් නිනෝ, IOD සහ MJO යන සංසිද්ධි තුනෙහිම සමස්ත හැසිරීම අනුව ඉදිරි වර්ෂාපතනය තීරණය වන බැවින් එක් සංසිද්ධියක් පමණක් පදනම් කරගෙන කාලගුණය පිළිබඳ අවසන් නිගමනවලට එළැඹිය නොහැකි බවද විජේමාන්නගේ මහතා වැඩිදුරටත් පැවසීය.
කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශය, භූගෝල විද්‍යා විෂය සංගමය, සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සහ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සූදානම් කිරීමේ සහ සැලසුම් අධ්යක්ෂ චතුර ලියානාරච්චි, ආචාර්ය මනෝජ් ජිනදාස යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් එක්ව සිටියහ.
gossip lanka news
