පාසල් සිසුන්ට සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වන මුවාවෙන් ලිං ගික හි රිහැර සිදුකළ PHI පළා ගිහින්
කල්මුණේ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් විසිදෙනෙකුට වැඩි පිරිසකට සෞඛ්‍ය පරීක්ෂණයක් පවත්වන මුවාවෙන් ලිංගික, ශාරීරික හා මානසික හිරිහැර සිදුකළ බවට චෝදනා ලැබ දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 18 වැනිදා අදාළ නිලධාරියා විසින් පාසල තුළ සංවිධානය කර තිබූ සෞඛ්‍ය පරීක්ෂාව අතරතුරදී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් අගතියට පත් සිසුන් විසින් තම දෙමාපියන් දැනුවත් කර ඇත. පසුව දෙමාපියන් ලබාදුන් තොරතුරු මත ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා, මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කල්මුණේ මූලස්ථාන පොලිසිය පසුගිය 19 වැනිදා අදාළ පාසලේ විදුහල්පතිවරයා සහ හිරිහැරයට ලක්වූ පාර්ශ්වයන් ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවා තිබූ අතර, සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි. කෙසේවෙතත්, අගතියට පත් පාර්ශ්වය විසින් මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකයටද තොරතුරු වාර්තා කර ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස එම අධිකාරිය විසින් කල්මුණේ මූලස්ථාන පොලිසියට සහ අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇත.
මේ වන විට පලාගොස් සිටින සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝග පරිදි සිදුකෙරේ. අම්පාර දිස්ත්‍රික් වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සහ කල්මුණේ ප්‍රාදේශීය සහකාර පොලිස් අධිකාරී එම්.කේ. ඉබ්නු අසාර් මහතාගේ මඟපෙන්වීම යටතේ, කල්මුණේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා සහ ළමා හා කාන්තා අංශයේ භාර නිලධාරිනී එස්.පී.එන්.එම්. ස්වර්ණකාන්ති මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
