රමිත් රඹුක්වැල්ලට ‘මාමා බෑනා’ හුටපටයක්
හිටපු ක්රිකට් ක්රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල මහතාට අයත් කොළඹ, නාරාහේන්පිට ප්රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසකින් විශාල මුදලක් සහ දේපළ තොගයක් අතුරුදන් වී ඇති බවට පසුගිය 30 වැනිදා නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මෙම පැමිණිල්ලට අනුව අදාළ නිවසේ තිබූ ඇමෙරිකානු ඩොලර් 4,275ක මුදලක්, රුපියල් ලක්ෂ 14ක මුදලක් මෙන්ම ගෘහ උපකරණ ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් මෙලෙස අතුරුදන් වී ඇත. පසුගිය අගෝස්තු මස 08 වැනිදාත් සැප්තැම්බර් මස 30 වැනිදාත් අතර කාලසීමාව තුළදී මෙම දේපළ සහ මුදල් නිවසින් රැගෙන ගොස් ඇති බවට අදාළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී නව තොරතුරු කිහිපයක්ම අනාවරණය වී ඇත. පොලිසිය සඳහන් කරන පරිදි අදාළ නිවස රමිත් රඹුක්වැල්ල මහතාගේ බිරිඳගේ පියාට අයත් එකක් වන අතර, ඔහුගේ උපදෙස් මත රඹුක්වැල්ල මහතාගේ දේපළ නුගේගොඩ ප්රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකට ගෙනගොස් දමා තිබේ.
මේ අතර, දැනට විදේශගතව සිටින රඹුක්වැල්ල මහතාගේ බිරිඳගේ පියා විසින් ද මෙම සිද්ධියට අදාළව විද්යුත් පණිවුඩයක් මාර්ගයෙන් පොලිසිය වෙත වෙනත් පැමිණිල්ලක් යොමු කර ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළ ඉදිරි නීතිමය පියවර ගනිමින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ සෘජු උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
gpssip lanka news
