වාහන ගන්න ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්
නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, අවශ්‍ය කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මේ වන විට රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන, ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට හැකියාව පවතින බවය.
තවද, ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදු කිරීමෙන් පසු අදාළ වාහන ලියාපදිංචි කිරීමට ද අවසර හිමි වන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ආකාරයෙන් ආනයනය කරන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හැර ඇති බවත්, රේගුව වර්තමානයේදී මෙම ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්නත් පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවත්ය.
එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය, මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකි විය යුතු බවට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තර්ක කළේය.
අදාළ පෙත්සම් සමථයට පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන ඔක්තෝබර් 22 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.