Avenra Garden හෝටලේ කෑම පණු කතාව
මීගමුව ප්‍රදේශයේ පිහිටි තරු 4 පන්තියේ හෝටලයක් වන ඇවෙන්රා ගාර්ඩන් (Avenra Garden) හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකදී පණුවන් සහිත ආහාර අමුත්තන් වෙත පිළිගැන්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇති දැඩි චෝදනාව සහ ඊට හෝටල් පාලනාධිකාරිය විසින් ලබාදී ඇති ප්‍රතිචාරය මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. පසුගිය දෙසැම්බර් 13 වැනිදා පැවති මෙම මංගල උත්සවයේදී පිළිගැන්වූ ආහාරවල
පණුවන් සිටි බවත්, හෝටලයේ කෝකියන් ඊට වගකිව යුතු බවත් සඳහන් කරමින් රංගන ශිල්පිනී නුවංගි ලියනගේ විසින් වීඩියෝවක් නිකුත් කර තිබූ අතර, තමා සතුව ඊට අදාළ සාක්ෂි පවතින බැවින් ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයකට බිය නොවන බව ඇය එහිදී අවධාරණය කර සිටියාය.
කෙසේ වෙතත්, මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඇවෙන්රා හෝටල් පාලනාධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, මෙය කිසිදු සත්‍ය පදනමක් නොමැතිව හුදෙක් ජංගම දුරකථන ඡායාරූපයක් පමණක් පෙන්වමින් සිදුකළ අසත්‍ය ප්‍රචාරයක් බවයි.
අදාළ අවස්ථාවේදී කිසිදු වගකිවයුතු ආයතනයකට හෝ නිල වශයෙන් පැමිණිල්ලක් සිදු නොකර, ආයතනයේ කීර්තිනාමයට හානි කිරීමේ පරමාර්ථයෙන් මෙම මඩ ප්‍රචාරය දියත් කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව කටාන පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හෝටලයේ හිමිකරු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධනේෂ් ද සිල්වා මහතාද වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය තම ආයතනය වැනි කීර්තිමත් ව්‍යාපාර බිඳවැට්ටවීම සඳහා දියත් කළ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බවයි. චෝදනා එල්ල කරන පිරිස විසින්ම ආහාරවලට පණුවන් දමා මෙම වීඩියෝව නිර්මාණය කරන්නට ඇති බවට සැක කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු එහිදී දැඩිව කියා සිටියේය.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමට සමගාමීව, දෙසැම්බර් මස මුල් සතිය තුළද ඇවෙන්රා හෝටලයේ පැවති සාදවලට සහභාගී වූ අමුත්තන් රැසක් ආහාර විෂවීමෙන් රෝගාතුර වීමේ පුවත් වාර්තා වී තිබේ. විශේෂයෙන් දෙසැම්බර් 04 සහ 07 යන දිනවල පැවති උත්සවවලට පැමිණි මීගමුව සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල පිරිසක් වමනය සහ උදරාබාධ තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර පවා ලබාගෙන ඇත. හෝටල් පාලනාධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ මෙම රෝගාබාධ තත්ත්වයන් පිළිබඳ තමන්ට වාර්තා වූ බව පිළිගෙන ඇති අතර, ඒ පිළිබඳ වහාම අභ්‍යන්තර විමර්ශනයක් අරඹා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) දැනුවත් කිරීමට කටයුතු කළ බව සඳහන් කර ඇත.
ඇවෙන්රා හෝටලයේ ආහාර සුරක්ෂිතතාව සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු පළමු අවස්ථාව මෙය නොවන අතර,
පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතා අපිරිසිදු තත්ත්වයෙන් මුළුතැන්ගෙය පවත්වාගෙන යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝටලයේ මුළුතැන්ගෙයට මුද්‍රා තබා තිබුණි. එහිදී කල් ඉකුත් වූ ජල බෝතල් භාවිතය මෙන්ම, පිසූ ආහාර සහ අමු මස් මාළු එකම ශීතකරණවල ගබඩා කිරීම වැනි සෞඛ්යාරක්ෂිත නොවන ක්‍රමවේද නිරීක්ෂණය වී තිබුණි.
ඊට පෙර 2023 ඔක්තෝබර් මාසයේදීද මෙවැනිම වරදක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී, නඩු නොපවරන ලෙසට බලපෑම් එල්ල වූ බවත්, එම අවස්ථාවේදී දැඩි අවවාද ලබා දී නුසුදුසු ආහාර විනාශ කිරීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මීට පෙර හෙළිදරව් කර තිබුණි. කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව පසුගිය 09 වැනිදා කැඳවූ අවස්ථාවේදී හෝටල් හිමිකරුවන් අධිකරණය මගහැර ඇති බවද වාර්තා වේ.
gosip lanka news
