දැරිය වෙනුවෙන් 28 ක් ඉදිරියේ තනිව සටන් කළ සජීවනී
නීතිය සහ යුක්තිය පසිඳලන දේවස්ථානයක් බඳු අධිකරණය හමුවේ, ධනය, බලය සහ ආගමික සළුපිළිවලින් සැරසුණු දැවැන්ත පවුරක් ඉදිරියේ තනි ගැහැනියක අභීතව නැඟී සිටින අයුරු ඔබ කවදා හෝ දැක තිබේද?
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේදී මේ දුර්ලභ දසුන දැකගත හැකි විය. එහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකා, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය විත්තිකාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් දැවැන්ත නීතිඥ බලඇණියකටත්, අධිකරණ භූමියට රැස්ව සිටි මහා සංඝරත්නයේ බලපෑමටත් නොබියව මුහුණ දෙමින් වින්දිත දැරිය වෙනුවෙන් සුවිශේෂී කරුණු දැක්වීමක් සිදු කළාය. දැඩි විරෝධතා මධ්‍යයේ, මනා ලෙස ගොනු කළ සාක්ෂි සහිත පිටු දහඅටක වාර්තාවක් ඉදිරිපත් කර තිබියදීත්, අවසානයේ රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත සැකකාර හිමිනමට ඇප නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම ඛේදවාචකයේ සැබෑ වින්දිතයා බවට පත්ව ඇත්තේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන අසරණ පවුලක දොළොස් හැවිරිදි දැරියකි. ඇතැම් අවස්ථාවලදී දින තුනෙන් තුනට ගෙන්වා ගනිමින්, දීර්ඝ කාලීනව ඇයව කෲර ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, අපරාධයෙන් පසු රුධිරය තැවරුණු යට ඇඳුම් පවා වළදමා ඇති බවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබිණි. ආවාස ගෙයි අපරාධය සිදු වූ කාමරය, එහි තිබූ භාණ්ඩ සහ ශුක්‍රාණු පිස දැමූ පාපිස්ස පවා දැරිය විසින් නිශ්චිතවම හඳුනාගෙන තිබියදීත්, සාමාන්‍ය පුරවැසියෙකුට සිතාගත නොහැකි අන්දමේ බලපෑම් සහගත වටපිටාවක් තුළ ඇයට සහ ඇගේ පවුලට යුක්තිය ඉල්ලා හඬා වැටීමට අද සිදුව තිබේ.
මෙය හුදෙක් එක් අපයෝජන සිද්ධියක් පමණක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිරුවත මනාව හෙළි කරන කදිම කැඩපතකි. ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්රඥප්තීන් පවා ගෙනහැර දක්වමින් නීතිඥ සජීවනී අබේකෝන් අධිකරණයට පෙන්වා දුන්නේ, නිශ්චිත සාක්ෂි සහ දුරකථන ඇමතුම් අසූ හතරක විශ්ලේෂණ වාර්තා තිබියදීත් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම හිතාමතාම ප්‍රමාද කළ බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට “කෙවිටක් ගෙන පොලිසිය පසුපස යාමට” ළමාරක්ෂක අධිකාරියට සිදුවීමෙන් පෙනී යන්නේ, ආගමික සහ දේශපාලන බලය ඉදිරියේ පොලිසිය කොතරම් දුරට දණ නමා ඇත්ද යන්නයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසීම් කළද ඊට නිසි පිළිතුරු නොලැබීම හරහා පද්ධතියේ ඇති දූෂිත සහ අකාර්යක්ෂම ස්වභාවය තවදුරටත් සමාජය ඉදිරියේ නිරාවරණය වේ.
සියලු බාධක මැද නිර්භීතව සටන් කළ මෙම රාජ්‍ය නිලධාරිනියට අධිකරණයෙන් පිටවී තේ උගුරක් බීමටත් පෙර පහත් මඩ ප්රහාරයන්ට මුහුණ දීමට සිදුවීම සමාජයේ ඇති කුහකත්වය මනාව පිළිඹිබු කරන්නකි. කීර්ති රත්නායක වැනි පුද්ගලයන් හරහා සජීවනී අබේකෝන් මහත්මියගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයට එල්ල කරන ලද අපහාසාත්මක සයිබර් ප්රහාරයන් යනු, නීතියේ සෘජු බව හමුවේ වියරු වැටුණු බලවේගවල නින්දිත හැසිරීමයි. බලය, ධනය සහ ආගමික කඩතුරාවට මුවා වී අපරාධකරුවන් රකින පද්ධතියක් තුළ, තනිව සටන් වදින මෙවැනි අවංක නිලධාරීන්ව ආරක්ෂා කිරීමට අදාළ ආයතන සහ රජය වහා මැදිහත් නොවන්නේ මන්ද යන බරපතළ ප්රශ්නය සමාජය හමුවේ ඉතිරිව පවතී.
සජීවනී වැනි එඩිතර නිලධාරිනියන් පීඩනය දරාගත නොහැකිව කලකිරී මේ පද්ධතියෙන් සමුගන්නා දාට, සමාජයේ බිලිගැනීමට නියමිත ඊළඟ අසරණ ගොදුර ඔබේම දරුවා විය හැකි බව අප කිසිදා අමතක නොකළ යුතුය.
